රජයේ සුරැකුම්පත් ද්විතීයික වෙළෙඳ ගනුදෙනු අර්ථ සාධකේට තහනම් වෙයි

    November, 29, 2016

    ඔක්තෝබර් අවසානයේ සිට සේවක අර්ථසාධක අරමුදල (EPF) රජයේ සුරැකුම්පත්, ද්විතියික වෙළෙඳ ගනුදෙනු සඳහා සහභාගී වීම අත්හිටුවා තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද (29) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    මින් මතු සේවක අර්ථ සාධක අරමුදලට, රජයේ සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසි සඳහා පමණක් සහභාගී විය හැකි බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ වෙනුවෙන් නියෝජ්‍ය මහ බැංකු අධිපති එස්. ලංකාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආයෝජන කමිටුව දිනපතා උදෑසන රැස්වී ආයෝජන තීරණ ගැනීමට කටයුතු කරනු ලබන බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය.