රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට

    September, 21, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ පාරදෘශ්‍ය කිරීමේ වැඩපිළිවෙලේ තව පියවරක් ඉදිරියට තබමින් බ්ලූම්බර්ග් ඉලෙක්ට්‍රොනික බැඳුම්කර ගනුදෙනු පද්ධතිය (Bloomberg electronic bond trading platform) සඳහා වාණිජ බැංකු ඒකාබද්ධ කර තිබේ. මේ අනුව 2016 සැප්තැම්බර් 15 වැනි දින සිට රජයේ සුරැකුම්පත් ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සඳහා බලපාන පරිදි බ්ලූම්බර්ග් ඉලෙක්ට්‍රොනික බැඳුම්කර ගනුදෙනු පද්ධතියට එක් වී ඇත. මීට පෙර 2016 අගෝස්තු 01 වැනි දින සිට සියලූහ ප්‍රාථමික අලෙවිකරුවන් (primary dealers) මෙම පද්ධතියට සම්බන්ධ කෙරිණි.

    මේ අනුව වර්තමානයේ දී සියලු ප්‍රාථමික අලෙවිකරුවන් සහ වාණිජ බැංකු සිය ගනුදෙනුකරුවන් සමඟ සිදුකරනු ලබන රුපියල් මිලියන 50 හෝ ඊට වැඩි සෑම ගනුදෙනුවක්ම පද්ධතිය වෙත මිනිත්තු 30 ක් ඇතුළත වාර්තා කළ යුතුවේ.

    මෙම තොරතුරු උපයෝගී කර ගනිමින් පසු දිනයේ දී ඵලදා හා පරිමාව පිළිබඳ දත්ත අනාවරණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ඇත. මෙකී ක්‍රියාවලිය ආරම්භ වූ පසුගිය අගෝස්තු 01 වැනි දින සිට සැප්තැම්බර් 15 දක්වාදින 32 ක ගනුදෙනු කාලපරිච්ඡේදය තුළ දී සම්පූර්ණ ගනුදෙනු 1,816 ක් සිදුවී තිබෙන අතර මේවායේ වටිනාකම රුපියල් බිලියන 218.7 ක් ලෙසින් හඳුනාගෙන ඇත. මෙම ගනුදෙනුවලින් බහුතරයක් රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම් වේ. මධ්‍යහ්නයේ දී හා ගනුදෙනු අවසානයේ දී වශයෙන් දිනකට දෙවරක් මෙවැනි තොරතුරු නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ඇත.