රජයේ සේවකයින්ගේ වාහන බලපත් පැවරීමේ වරම ඉවරයි

    February, 10, 2015

    රජයේ සේවකයින්ට තීරු බදු සහන යටතේ වාහන මිලදීගැනීම සඳහා ලබාදෙන බලපත්‍ර වසර හතරක් යනතෙක් පැවරිය නොහැකියැයි නව රජය විසින් තීරණය කර ඇතැයි අනාවරණය වේ.

    මුදල් අමාත්‍යංශයේ උසස් නිළධාරියෙකු අප සමග පැවසුවේ මෙම තීරණය ගෙන තිබෙන බවත් එයට අදාළ චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කරන බවයි.

    රජයේ සේවකයින්ට තීරුබදු සහන යටතේ ලබාදෙන වාහන බලපත්‍ර වෙනත් අයෙකුට පැවරිය හැකියැයි පසුගිය රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.

    මේ නිසා, රජයේ සේවකයින්ට තමන්ට හිමිවූ වාහන බලපත්‍ර විකිණීමේ අවස්ථාව ලැබුණු අතර බොහෝ දෙනෙකු මෙවැනි වාහන බලපත්‍ර මිලදීගනිමින් එමගින් වාහන මිලදී ගැනීමට පසුගිය කාලයේ කටයුතු කළේය.

    මෙරටට වාහන ගෙන්වන සමාගමක ප්‍රධානියෙකු අප සමග පැවසුවේ රජයේ සේවකයින්ට හිමිවී තිබෙන වාහන බලපත් මගින් ඇනවුම් කර තිබෙන තවමත් මෙරටට පැමිණ නොමැති වාහන සඳහා මෙම නව නීතිය බලපානවා නම් ඔවුන්ට ගැටලුවක් වනු ඇති බවයි.

    මෙම නව නීතිය බලපාන්නේ අළුතින් ලබාදෙන බලපත්‍ර වලටද පැරණි බලපත්‍ර වලටත් මෙම නීතිය අදාළ වනවාදැයි තවමත් පැහැදිලි නොමැති බව හෙතෙම සඳහන් කළේය.