May, 9, 2017
වෘත්තිකයින් පිටරට රැකියා සඳහා යාමෙන් මෙරට ආර්ථිකයට කිසිදු දායකත්වයක් නොලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය. අද (09) පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව පැවසීය.
රට රැකියා සඳහා පිටත්ව යන කාණ්ඩයන් අනුව වෘත්තිකයින්ගේ විගමනය සියයට 5.1 කින් වර්ධනය වී ඇති බවත්, පුහුණු ශ්‍රමික, අර්ධ පුහුණු ශ්‍රමික, නුපුහුණු ශ්‍රමික හා ගෘහ සේවිකා කාණ්ඩය යටතේ විදෙස් රැකියා සඳහා ගිය පිරිස සියයට 8.6 කින් අඩු වී ඇති බවත් 2016 මහ බැංකු වාර්තාවේ සඳහන් විය.
වෘත්තිකයින් රට රැකියා සඳහා යාමෙන් මෙරට ආර්ථිකයට දායකත්වයක් ලැබෙනවාද යන්න පිළිබඳව කළ විමසීමක දී මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“රට රැකියා සඳහා යන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයින් සාමාන්‍යයෙන් සල්ලි එවන්නේ නැහැ. අර්ධ පුහුණු ශ්‍රමිකයින්ගේ (Semi-Skilled workers) වැඩිවීමක් සිදුවෙලා තියෙනවා. කොරියාව, අග්නිදිග ආසියානු කලාපයට වැඩිවශයෙන් යනවා. ඔවුන් යන්නේ ගෘහ සේවයට නොවෙයි. මේ හේතුව නිසා ලංකාව තුළ අර්ධ පුහුණ ශ්‍රමිකයින්ගේ හිඟයක් තියෙනවා.“
මෙහිදී වැඩිදුරටත් මහ බැංකු අධිපතිවරයා කියා සිටින්නේ වෘත්තිකයින් පිටරට රැකියා සඳහා යාමෙන් මෙරට ආර්ථිකයට දායකත්වයක් නොලැබෙන බවත්, ඔවුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගත යුතු බවත්ය.
Video Story