රාජකීය රග්බි සඳහා KIA සහාය යළිත්

    January, 30, 2016

    පාසලේ රග්බි ක‍්‍රීඩාව නැංවීම වෙනුවෙන් ක‍්‍රියාත්මක රුපියල් මිලියන 27 ක වැඩසටහන ඉදිරියටම

    නිර්මාණශීලීත්වය සහ කාර්ය සාධනය අතින් අග තැන්පත් කොරියානු වාහන සන්නාමය වන KIA විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි සංවර්ධන වැඩසටහන වෙනුවෙන් දක්වන තුන් අවුරුදු අනුග‍්‍රාහකත්වය දෙවන වසර සඳහාත් අළුත් කරමින් එයට අදාළ නිළ ගිවිසුමට පසුගියදා අත්සන් කළේය.

    මෙම අනුග‍්‍රාහකත්වයට අදාල ගිවිසුම KIA මෝටර්ස් ලංකා ලිමිටඞ් හි අධ්‍යක්ෂවරුන් සහ රාජකීය විදුහලේ රග්බි උපදේශන කමිටුවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් විසින් රාජකීය විද්‍යාලීය රග්බි මධ්‍යස්ථානයේදී අත්සන් තබන ලදී.

    රාජකීය විද්‍යාලීය රග්බි ක‍්‍රීඩාව වෙනුවෙන් KIA විසින් සහයෝගය දක්වන පස්වන වසර මෙය වේ. රුපියල් මිලියන 27 ක මෙම අනුග‍්‍රාහකත්වය රාජකීය විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමට අමතරව 14න් පහළ, 16න් පහළ, 18න් පහළ රග්බි කණ්ඩායම් ද ආවරණය කරයි.

    මෙම අනුග‍්‍රාහකත්ව ගිවිසුමට අත්සන් කිරීමේ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් KIA මෝටර්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහේන් තම්බයියා මහතා මෙසේ අදහස් දැක්වීය. ‘2015 වසරේ රාජකීය පළමු පෙළ රග්බි කණ්ඩායම දැක්වූ දක්ෂතාවය සහ එහි රග්බි සංවර්ධන වැඩසටහන ඉදිරියට යන ආකාරය පිළිබඳව රාජකීය විද්‍යාලයට ආඩම්බර විය හැකියි. ඒවගේම, රාජකීය විද්‍යාලයේ ක‍්‍රීඩා පුනරුදයේ කොටස්කරුවෙකු වීමට ලැබීම පිළිබඳව KIA සතුටු වෙනවා. රාජකීය විද්‍යාලීය රග්බි කණ්ඩායමේ කුසලතාවයන් වර්ධනය වෙමින් තිබීම අපට දිරියක් මෙන්ම ඒ තුළින් පෙනෙන්නේ අප විසින් පාසලේ රග්බි සංවර්ධනය කිරීම වෙනුවෙන් කළ ආයෝජනයේ ප‍්‍රතිඵල තිබෙන බවයි’.

    ‘KIA ගෝලීය වශයෙන් ක‍්‍රීඩාව සමග ශක්තිමත් සමීප සම්බන්ධතාවයක් දක්වන සන්නාමයක්. ක‍්‍රියාශීලි, නම්‍යශීලි, විලාසිතා පිරි තාරුණ්‍යයෙන් යුතු සන්නාමයක් ලෙස අප ප‍්‍රචලිතයි. රාජකීය විද්‍යාලයේ ඉදිරියට පැමිණෙමින් තිබෙන රග්බි කණ්ඩායමත් මෙම ගුණාංග නියෝජනය කරනවා’.

    රාජකීය විද්‍යාලීය රග්බි කණ්ඩායමට පසුගිය වසර ජයග‍්‍රාහී වසරක් වූ අතර විද්‍යාලීය පළමු පෙළ රග්බි කණ්ඩායම මහනුවර ති‍්‍රත්ව විද්‍යාලය පරාජයට පත් කරමින් බ‍්‍රැඞ්බි කුසලානය මෙවර දිනාගත් අතර වාර්තාගත ආකාරයෙන් ශාන්ත තෝමස් විදුහල 52-0 ක් ලෙස පරාජයට පත්කරමින් මයිකල් ගුණරත්න කුසලානය දිනාගැනීමට සමත්විය. මීට අමතරව, බී.සී. අන්ගී කුසලානය සහ මිල්රෝයි ප‍්‍රනාන්දු කුසලානය මෙවර දිනාගැනීමට සමත්වූයේ රාජකීය විද්‍යාලයයි. රාජකීය විද්‍යාලීය රග්බි කණ්ඩායමේ ඉහළ හැකියාවන් පෙන්නුම් කරමින් 2015 සිංගර් ලීග් අන්තර් පාසැල් රග්බි ශුරතා අවසාන මහා තරගයේදී කොළඹ ඉසිපතන විද්‍යාලය පරාජය කරමින් ජයග‍්‍රහණය ලබාගැනීමටද සමත්විය. රාජකීය විදුහලේ රග්බි ක‍්‍රීඩාව ආරම්භ වූයේ 1916 වසරේදීය.

    ගෝලීය වශයෙන් ගත්විට, KIA ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ ප‍්‍රධානතම අනුග‍්‍රාහකයෙකු වන අතර FIFA තරගාවලියේ නිළ පාර්ශවකරුවෙකු වෙමින් 2014 බ‍්‍රසීලයේදී පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලිය සඳහාද අනුග‍්‍රාහකත්වය දැක්වීය KIA සමාගමේ ගෝලීය සන්නාම තානාපති ලෙස කටයුතු කරන්නේ වත්මන් යුගයේ විශිෂ්ටතම ටෙනිස් ක‍්‍රීඩකයෙකු වන රෆායල් නඩාල්ය. සුප‍්‍රසිද්ධ කොරියානු සන්නාමයක් වන KIA විසින් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට දක්වන අනුග‍්‍රාහකත්වය තවදුරටත් ශක්තිමත් කරමින් වසර 05 ක කාලයක් සඳහා ඓතිහාසික ඕවල් ක‍්‍රීඩාංගනයේ පරම නාමකරණ අයිතිය ලබාගැනීමත් සරේ ප‍්‍රාන්ත ක‍්‍රිකට් සමාජ ක‍්‍රීඩකයින්ගේ කමිස සඳහා අනුග‍්‍රාහකත්වය ලබාදීමත් කැපී පෙනේ. මීට අමතරව, සුප‍්‍රකට NBA පැසිපන්දු කණ්ඩායමේ නිළ වාහන අනුග‍්‍රාහකයා වෙමින් ඇමරිකානු පැසිපන්දු ක‍්‍රීඩාව වෙනුවෙන්ද KIA සහයෝගය දක්වා තිබේ.

    KIA මෝටර්ස් (ලංකා) ලිමිටඞ් 1996 වසරේ සිට KIA සන්නාමයේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරයි.

    (වමේ සිට) රාජකීය විද්‍යාල සංගමයේ ලේකම් අතුල මුණසංහල රාජකීය විදුහලේ රග්බි උපදේශන කම්ටුවේ සභාපති හේමක අමරසූරිය, රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ. අබේරත්න සහ KIA මෝටර්ස් (ලංකා) හි සභාපති ඒ. එම්. ද එස්. ජයරත්න, කළමනාකාර අධ්‍යක්ෂ මහේන් තම්බයියාල ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ඇන්ඩෘ පෙරේරා රාජකීය විදුහලේ රග්බි කී‍්‍රඩාව සඳහා අනුග‍්‍රාහකත්වය සංකේතාත්මකව පිරිනැමූ මොහොත.