රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව වැඩි කරන්න තීරණ කිහිපයක්

    August, 6, 2024

    රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම ද්විකරණ දෝෂ අවම කිරීම හා තොරතුරු තහවුරු කර ගැනීම මඟින් ඵලදායීව හා ප්‍රශස්ථව කාර්යයන් ඉටු කිරීම පිණිස රාජ්‍ය ආයතනයන්හි තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීම යෝග්‍ය බව හඳුනාගනු ලැබ ඇත.

    ඒ සඳහා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ද ඇතුළුව සියලුම රාජ්‍ය ආයතන මඟින් නියාමනය කරනු ලබන/සංවර්ධනය කරනු ලබන තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා දත්ත ඇතුළත් කිරීමේදී පහත සඳහන් පරිදි කටයුතු කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    • වයස අවුරුදු 15ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙකු හඳුනාගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීම. 
    • විදේශීය පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීම. 
    • ආයතන අනන්‍යතාව හඳුනාගැනීම සඳහා ව්‍යාපාර ලියාපදිංචි අංකය හා එම ආයතනවල හිමිකරුවන්ගේ/අධ්‍යක්ෂ මණ්ඩලවල දේශීය සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ද විදේශීය සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර අංකය ද භාවිත කිරීම අනිවාර්ය කිරීම.
    • අදාළ දත්ත විධිමත් පරිදි අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ හුවමාරු කිරීමට හැකි වන අයුරින් දත්ත ප්‍රමිතිකරණය සිදු කිරීම.