රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ කිරීමේ ජාතික මෙහෙයුම ඇරඹේ

    February, 11, 2026

    තීරණාත්මක රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) වෙත සම්බන්ධ කිරීමේ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් 2026 පෙබරවාරි 10 වන දින පවත්වන ලදී.

    ශ්‍රී ලංකා CERT සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම සැසිය, රටේ සයිබර් ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ තීරණාත්මක පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය. නූතන ලෝකයේ සයිබර් ආරක්ෂාව යනු තවදුරටත් හුදු තාක්ෂණික කරුණක් පමණක් නොව, එය ජාතික ආරක්ෂාව, ආර්ථික ස්ථාවරත්වය සහ පොදු ජන විශ්වාසය කෙරෙහි සෘජුව බලපාන ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බව මෙහිදී අවධාරණය කෙරිණි.

    මෙම වැඩසටහනේදී විශේෂයෙන් අවධානය යොමු වූයේ සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ රජයේ තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම් ක්‍රියාත්මක වන සියලු ආයතන සම්බන්ධ කිරීම කෙරෙහිය.

    කැබිනට් තීරණ ඔස්සේ මේ සඳහා අදාළ ප්‍රතිපත්තිමය තීරණ දැනටමත් ලබාගෙන ඇති අතර, මෙම වසර අවසානය වන විට සෙසු රාජ්‍ය ආයතනද සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ කිරීම මෙහි දෙවන අදියරය වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහිදී තීරණාත්මක රාජ්‍ය ආයතන සඳහා මූලිකත්වය හිමි වන අතර එම ආයතන ජාතික විගණන කාර්යාලය ඔස්සේ විගණනයට ලක් කිරීමටද සැලසුම් යොදා ඇත.

    මීට අමතරව සියලුම රාජ්‍ය නිලධාරීන් ඩිජිටල් ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දීමේ ක්‍රියාවලිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කරන ලදී.

    ඩිජිටල් ආර්ථිකය කරා යන ගමනේදී සයිබර් ඔරොත්තු දීමේ හැකියාව රාජ්‍ය පාලනයේ සහ සේවා සැපයීමේ මූලික අංගයක් ලෙස සැලකිය යුතු බව මෙහිදී ප්‍රකාශ විය. රාජ්‍ය වෙබ් අඩවි විකෘති කිරීම, රන්සම්වෙයාර් ප්‍රහාර සහ තොරතුරු සොරකම් කිරීම වැනි සයිබර් තර්ජන හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් බිඳවැටීම වැළැක්වීමට සහ කළමනාකරණය කිරීමට මෙම නව ක්‍රමවේදය මගින් අවස්ථාව සැලසේ.

    ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය හරහා රාජ්‍ය ආයතනවලට තථ්‍ය කාලීන තර්ජන අධීක්ෂණය, පූර්ව අනතුරු ඇඟවීම් සහ විධිමත් සම්බන්ධීකරණයකින් යුත් ප්‍රතිචාර දැක්වීමේ පහසුකම් සැලසෙන බැවින්, මෙය හුදෙක් අනුකූලතා අභ්‍යාසයක් නොව ආයතනික විශ්වාසනීයත්වය වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙස හඳුන්වා දෙන ලදී.

    මෙම අවස්ථාව සඳහා ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා CERT ආයතනයේ සභාපති තිලක් පතිරගේ සහ ශ්‍රී ලංකා CERT ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කනිෂ්ක කරුණාසේන ඇතුළු පිරිසක් සහභාගී වූහ. එසේම රජයේ තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම් ක්‍රියාත්මකවන බවට හඳුනාගෙන ඇති රාජ්‍ය ආයතයන්හි (37 ක) ප්‍රධාන නිලධාරීන් රැසක් ද මේ සඳහා සහභාගී විය.