රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට IMF කිසිදු විරෝධයක් නෑ

    January, 9, 2025

    රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිදු විරෝධයක් නොමැති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    තව ද එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍ය වරයා වැඩි දුරටත් පවසා සිටියේය.

    "අපිට මතකයි මේ රටේ වෘත්තිකයෝ වැඩ වර්ජන කරද්දි, උද්ගෝෂණ කරද්දි, අරගල කරද්දි PAYE TAX එක අඩු කරන්න කියලා හිටපු ජනාදිපති රනිල් වික්‍රමසිංහ මහත්තා කිව්වා ගිහින් IMF එකත් එක්ක කතා කරගන්න කියලා. දැන් අපි තීරණය කරලා තියනවා ඒ PAYE TAX එකේ සීමාව 150,000 දක්වා ඉහළ දාන්න. ඒ වගේම අපිට කිසි ගැටළුවක් මතු වෙන්නේ නැහැ. මේ තත්ත්වය එක්ක IMF එකේ කිසි විරෝධයක් නැහැ වැටුප් වැඩි කිරීමට."

    "රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු. කලබල වෙන්න එපා. ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න හදන්න එපා. රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 4 තැපැල් ඡන්දෙට පෙර කැබිනට් තීන්දුවක් ගත්තා මේ රටේ රාජ්‍ය සේවකයින්ගේ ඡන්දය ඉලක්ක කරගෙන. හැබැයි රාජ්‍ය සේවකයෝ හොඳ උත්තරයක් දුන්නා. ඒක රාජ්‍ය සේවකයින් මුලා කරන්න ඉදිරිපත් කරපු දෙයක් මිසක් ඇත්ත දෙයක් නෙමෙයි."