July, 18, 2024
තම සමාගම යටතේ සේවය කරන රා මදින්නෙකු, පසුගිය මාසයේ දී රු. 380,000 ක ආදායමක් ලබා ගෙන ඇති බව මෙරට ප්‍රමුඛතම මත්පැන් නිෂ්පාදන සමාගමක ප්‍රධානියෙකු අද දෙරණ Business වෙත පැවසීය. ඔහු පැවසුවේ එම පුද්ගලයා රු. 60,000 ක් ඉක්ම වු ආදායම් බදු ප්‍රමාණයක් ද එම මාසය තුළ ගෙවා ඇති බවයි.
ඔහු එම සමාගමට සේවය කරන රා මදින්නන්ගෙන් අදාළ කාලපරිච්ඡේදය සඳහා ඉහළම ගෙවීම ලබා ඇති සේවකයා වන අතර ක්ෂේත්‍රයේ ඇති පළපුරුද්ද හා දක්ෂතාවය අනුව එවැනි ඉහළ ගෙවීමක් ලැබීමට පවා හැකියාවක් ඇති කර්මාන්තයක් බවට අද වන විට රා මැදීම පත්ව තිබීම විශේෂ කරුණකි.
කෙසේවෙතත් වෘත්තීයමය රා මදින්නන්ගේ දැඩි හිඟයක් පැවතීම, මේ වන විට තම කර්මාන්තයට එල්ල වී ඇති ප්‍රධාන අභියෝගයක් වී ඇති බව එම සමාගම් ප්‍රධානියා අද දෙරණ Business වෙත වැඩිදුරටත් පැවසීය. ඔහු පැවසුවේ සමාජ පිළිගැනීම සහ වෘත්තියේ ඇති අවදානම් ස්වභාවය සැලකිල්ලට ගනිමින්, බොහෝ විට තරුණයන් මෙම රැකියා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට මැලිකමක් දක්වන බවයි.
අක්කර 130 ක් ඉක්මවූ සිය සමාගමේ පොල් වතු යායෙහි දෙදහස ඉක්මවූ පොල් ගස් ප්‍රමාණයක් තිබුණ ද , රා මැදීම සඳහා මේ වන විට එයින් භාවිතයට ගැනෙන්නේ පොල් ගස් 1,100 ක් පමණ බවත්, වෘත්තීය රා මදින්නන්ගේ හිඟය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.
රා මදින්නන් සඳහා ගෙවීම් සිදුකිරීම ඔවුන් විසින් දෛනිකව ලබා ගන්නා රා ලීටර් ප්‍රමාණය අනුව තීරණය වේ. සාමාන්‍යයෙන් පළපුරුදු රා මදින්නෙකු හට දිනකට ගස් 100 කට වැඩි ප්‍රමාණයකින් රා ලබා ගැනීමට හැකියාව ඇති බව ද මෙහිදී අනාවරණය විය.
මේ අතර මෙරට වෘත්තීයමය රා මදින්නන් බිහිකිරීම සඳහා ජාතික ආධුනිකත්ව මණ්ඩලය මේ වන විට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ සති දෙකක විධිමත් පුහුණුවකින් පසු, රා මදින්නන් වෙනුවෙන් ජාතික වෘත්තිය නිපුණතා (NVQ -3 මට්ටමේ) සහතිකපතක් ලබාදීමට පියවර ගෙන තිබීමයි. ඒ අනුව අතීතයේ දී සමාජයේ පිළිගත් වෘත්තීය ක්ෂේත්‍රයක් නොවූ රා මැදීම, අද වන විට වෘත්තීය මට්ටමේ රැකියාවක් දක්වා ඉහළට පැමිණ තිබීමත්, ඒ සමඟ ඉහළ වැටුප් තලයකට හිමිකම් කීමට ඔවුන්ට හැකියාව ලැබී තිබීමත් විශේෂත්වයකි.