රැකියා ස්ථාන තුළ කාන්තාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

    July, 3, 2024

    රැකියා ස්ථාන තුළ කාන්තාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

    මේ පිළිබඳ අවධානය යොමු වූයේ විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය ජුනි 19 වැනිදා පාර්ලිමේන්තුවේදී  රැස්වූ අවස්ථාවේදීය.

    මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතන සහ වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් කැඳවා තිබුණු අතර මෙහිදී පැමිණි නියෝජිතයින් පෙන්වා දුන්නේ මෙරට ජනගහණයෙන් වැඩි කොටසක් කාන්තාවන් වුවද විධායක ශ්‍රේණියේ තනතුරු සඳහා පත්වන කාන්තාවන් සංඛ්‍යාව සීමිත බවයි. එසේම ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ගේ දරුවන් රැක බලාගැනීම සඳහා විධිමත් ආකාරයෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇතිකිරීමේ අවශ්‍යතාවද මෙහිදී පැමිණි නියෝජිතයින් පෙන්වා දුන්හ.

    තවද ගෘහ සේවයේ නියුතු වෘත්තිකයන් පිළිබඳ පවතින නීතිමය ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී පැමිණි පාර්ශව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යෙ‍ාමුකොට අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් මැදිහත් වන බව කාරක සභාව පෙන්වා දුන්නේය.

    එසේම මෙහිදී කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පෙන්වා දුන්නේ කාන්තාව ව්‍යවසායකයන් ලෙස සවිබලගැන්වීම සම්බන්ධයෙන් තම අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කරන බවයි.

    මීට අමතරව කෘතීම බුද්ධිය රැකියා ක්ෂේත්‍රයට සම්බන්ධවීම මගින් කාන්තා වෘත්තිකයින්ට සිදුවන බලපෑම පිළිබඳවද මෙහිදි අවධානය යොමු විය.

    මේ අනුව මෙම සාකච්ඡා කළ සියලු කරුණු සම්බන්ධයෙන් කාරක සභාවට වාර්තාවක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හෙක්ටර් අප්පුහාමි මහතා පැමිණි නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කළේය.

    මෙම රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන ඉෂාක් රහුමාන්, යූ.කේ. සුමිත් උඩුකුඹුර, කෝකිලා ගුණවර්ධන සහ සමන්ප්‍රිය හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.