රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?

    August, 26, 2015

    අනිකුත් රටවල් තම මුදල් අවප්‍රමාණය කරමින් ඔවුන්ගේ අපනයන තරගකාරී කර ගැනීමට උත්සාහ කරද්දී ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කිරීම පිළිබඳව ලංකාව වඩාත් සැලකිල්ලෙන් සිතා බැලිය යුතුබව ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

    පසුගිය රජයේ ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වූ හෙතෙම සඳහන් කරන්නේ අනිකුත් රටවල් සිය අපනයන ඉහළ නංවා ගැනීමට ඔවුන්ගේ මුදල් ඒකක අවප්‍රමාණය කළත් ලංකාවට එවැනි ක්‍රමයක් අනුගමනය කිරීම හිතකර නොවන්නට පුළුවන් බවයි.

    ඇමරිකානු පොලී අනුපාතය වැඩිවීමට පටන් ගන්නේ නම් එවිට ලංකාවට පැමිණෙන සෘජු විදේශීය ආයෝජන (Foreign Direct Investment) සහ ආයෝජන පිළිබඳව සලකා බැලීම වැදගත් බවත් මේ නිසා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කිරීමට පෙර සැලකිල්ලෙන් එය කළ යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශත 15 කින් පමණ අවප්‍රමාණය වීමට ඊයේ (25) දිනයේදී අවස්ථාව ලබාදුන්නේය.