රු. කෝටි 23,500ක ශ්‍රී ලංකා ඉතිහාසයේ ලොකුම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අද

    June, 5, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 235,000 ක හෙවත් රු. බිලියන 235 ක (රු. කෝටි 23,500/-) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (05) දින කැඳවා තිබේ.

    මෙය මෙතෙක් ඉතිහාසයේ එක් දිනක් තුළ දී නිකුත් කිරීමට සූදානම් කෙරෙන ඉහළම භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ලෙසින් ඉතිහාස ගත වනු ඇත.

    මීට පෙර 2023 දෙසැම්බර් 13 වන දින කැඳවන ලද රු. මිලියන 220,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය මේ දක්වා පවත්වා ඇති විශාලතම බිල්පත් නිකුතුව ලෙසින් වාර්තා වී තිබේ.

    අද දින වෙන්දේසිය සඳහා පරිණත කාල කාණ්ඩ තුනක් යටතේ පහත සඳහන් පරිදි ලංසු කැඳවා ඇත.

    දින 91 - රු. මිලියන 40,000

    දින 182 - රු. මිලියන 75,000

    දින 364 - රු. මිලියන 120,000

    මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන අතර ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණකි.