August, 29, 2025
රු. 2000ක වටිනාකමකින් යුතු සමරු මුදල් නෝට්ටුවක් අද (29) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී. මහ බැංකුව පවසන්නේ මෙය නෝට්ටු මිලියන 50ක සීමිත නිකුතුවක් බවයි.
ඒ අනුව මෙය අද සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කෙරෙනු ඇත.
මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව තුළ ඕනෑම මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා වලංගු වන අතර මුදල් සංසරණයේ පවතින තාක් ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් මෙම සමරු මුදල් නෝට්ටුව නිකුත් කරන ලදී. ජාතික සංවර්ධනය සඳහා පදනම ලෙස ආර්ථික ස්ථාවරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් මහ බැංකුවේ නොනවතින කැපවීම පිළිබිඹු කරමින්, මෙම මුදල් නෝට්ටුව "සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය" යන සංවත්සර තේමාවට අනුකූල වේ. මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 5 වන සමරු මුදල් නෝට්ටුවයි.
අද (29) උදෑසන, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී මෙම සමරු මුදල් නෝට්ටුව ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.

නෝට්ටුවේ ඉදිරිපස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල සහ කොළඹ ප්‍රදීපාගාර ඔරලෝසු කණුව මෙන්ම මෑත කාලීන නාගරික සංවර්ධනයන් පෙන්නුම් කරන කොළඹ නගරයට අලුතින් එක් වූ ගොඩනැගිලි ඈතින් දිස්වෙන ආකාරය දැක්වෙන පිළිබිඹුවක් සහ 75 වන සංවත්සර ලාංඡනය දක්වා ඇත. ආරක්ෂාව ඉහළ නැංවීම සහ වලංගු මුදල් නෝට්ටු හඳුනාගැනීම මහජනතාවට පහසු කිරීම සඳහා වර්ණය වෙනස්වන්නා වූ ආරක්ෂණ නූලක් ඇතුළත් කර ඇත. දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට ස්පර්ශයෙන් නෝට්ටුව හඳුනා ගැනීමට සහාය වීම සඳහා, එක් එක් තීරුව අවසානයේ දියමන්තියක හැඩයක් සමග උස්ව මුද්‍රිත තීරු හයක් නෝට්ටුවේ වම්පස සහ දකුණුපස දාර දෙකෙහිම මුද්‍රණය කර ඇත.
නෝට්ටුවේ පිටුපස, ශ්‍රී ලංකා සිතියමෙහි නිර්මාණාත්මක පිළිබිඹුවක්, මානෙල් මලක් සහ මහ බැංකුවේ දැක්ම ප්‍රකාශය ඉදිරිපත් කර ඇති අතර, එය ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රගතිය සඳහා මහ බැංකුවේ කැපවීම සංකේතවත් කර ඇත.
රු. 2000 සමරු නෝට්ටුවේ නිර්මාණය සහ ප්‍රධාන ලක්ෂණ පහත වගුවේ සාරාංශගත කර ඇත.

Video Story