ලංකාවේ මාළු අද සිට යුරෝපයට යවන්න බෑ. සමාගම් වැසී යෑමේ අවධානම මැද්දේ දේශීය මාළු මිල බහින ලකුණු

    January, 15, 2015

    නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ධීවර කටයුතු නවතා දමන ලෙස දිගින් දිගටම අවවාද කළ යුරෝපා සංගමය එයට දඬුවමක් ලෙස ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම අද සිට අත්හිටුවා තිබෙන අතර මෙය විසඳා ගැනීමට ඉක්මන් පියවර නොගන්නේ නම් සිය සමාගම් වැසී යනු ඇතැයි මත්ස්‍ය නිෂ්පාදන අපනයන සමාගම් මැසිවිලි නගයි.

    ශ්‍රී ලංකා මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන්නන්ගේ සංගමයේ ප්‍රකාශක, චන්න වීරතුංග මහතා අප සමග පැවසුවේ මෙම තහනම ක්‍රියාත්මක වීම නිසා මෙරට සිට යුරෝපයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන සමාගම් අපනයන කටයුතු මේ වනවිට නතර කර තිබෙන බවයි.

    “මේ නිසා, යුරෝපයට අපනයනය කළ මත්ස්‍ය නිෂ්පාදන ටොන් 1500 ක් පමණ මාසයකට දේශීය වෙළඳ පොළට ඉදිරි දින වලදී පැමිණෙනවා. මේ නිසා, දේශීය වෙළඳ පොළේ මාළු මිල ගණන් ගොඩක් අඩුවේවි. හැබැයි, ඉක්මනින් මෙම තහනම වලක්වා ගන්න ක්‍රියා නොකළොත් මත්ස්‍ය අපනයන සමාගම් වලින් සියයට 90 ක් පමණ වැසී යාවි.“

    යනුවෙන් වීරතුංග මහතා සඳහන් කළේය.

    මෙරට මත්ස්‍ය අපනයන වලින් සියයට 50 ක් පමණ යුරෝපා සංගමය මිලදී ගන්නා අතර වාර්ෂිකව ඒ තුළින් ඩොලර් මිලියන 200 ක පමණ ආදායමක් රටට ලැබේ.

    ශ්‍රී ලංකාවේ ඇතැම් ධීවර යාත්‍රා මෙරට ධජය යටතේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධී ධීවර කටයුතු නතර කිරීම සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ආරම්භ කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා තිබුණි.

    මෙම ඉල්ලීම ඇතුළු යුරෝපා සංගමයේ අවශ්‍යතා සපුරාලීමට ලංකාවට අවුරුදු 02 ක පමණ කාලයක් ලබාදී තිබුණු අතර එම අවශ්‍යතා ඉටු කිරීමට අපොහොසත් වන්නේ නම් 2015 ජනවාරි 15 වනදා සිට ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදී නොගන්නා බව යුරෝපා සංගමය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අවසන් වතාවට සඳහන් කළේය.

    ශ්‍රී ලංකා මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන්නන්ගේ සංගමයේ ප්‍රකාශක චන්න වීරතුංග මහතා අප සමග පැවසුවේ යුරෝපා සංගමයේ අවශ්‍යතා සපුරා ලීමට රජයේ පාර්ශවයෙන් ප්‍රමාණවත් මැදිහත් වීමක් නොවූ නිසා මෙම තහනම වලක්වා ගැනීමට නොහැකි වූ බවයි.

    මේ නිසා, වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෙම තහනම වලක්වා ගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඒ සඳහා තම සංගමයේ සහයෝගය ලබාදෙන බවත් හෙතෙම සඳහන් කළේය.

    මෙම තහනම වලක්වා ගැනීමට මුහුණ දෙන්නේ කෙසේදැයි අපි මීට මාසයට පෙර ශ්‍රී ලංකා මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන්නන්ගේ සංගමයේ ප්‍රකාශකවරයා සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාව මෙන්න!