ලංකාවේ ව්‍යාපාරිකයන්ට ජෝර්දානයට කඩිනමින් වීසා

    February, 9, 2016

    ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් හට කඩිනමින් වීසා පහසුකම් සලසා දීමට තම තානාපති කාර්යාලය කටයුතු කරන බව මෙරටට පැමිණ සිටින ජෝර්දාන රාජ්‍ය නියෝජිත එසාන් එම්. අල් ජවාර්නේ මහතා පැවසීය. මේ සඳහා මෙරට වාණිජ මණ්ඩලය විසින් නිර්දේෂ ඉදිරිපත් කිරීමක් කළ යුතුව ඇතැයි ඒ මහතා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

    දෙරට අතර වාණිජ සහයෝගීතාවන් ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් ජොර්දාන රාජ්‍ය නියෝජිතවරයා සහ මෙරට ජෝර්දානු කොන්සල් අස්ගි අක්බරාලි මහතා අතර ලංකා වාණිජ මණ්ඩලයේ පැවති හමුවක දී ඒ මහතා මේ බව අවධාරණය කර තිබේ.

    මෙම අවස්ථාව සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සමන්ත කුමාරසිංහ, ප්‍රධාන විධායක නිලධාරී මංගල යාපා, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලිලාක්ෂිනි ද මෙල් යන මහත්ම මහත්මීහූ එක්වී සිටියහ.

    දෙරටෙහි වාණිජ මණ්ඩල අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද මෙම හමුවේ දී තීරණය වී තිබේ.