July, 29, 2015
ශ්‍රී ලංකාවේ මේ වනවිට දේශපාලන අස්ථාවරත්වයක් තිබුණත් අනිකුත් සමාන රටවල් සමග සැසඳීමේදී මෙරට ආර්ථික වර්ධනය ශක්තිමත් බව ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන මූඩීස් (Moody's a rating agency) සඳහන් කර තිබේ.
කෙසේවෙතත්, මූඩීස් අවධාරණය කර තිබෙන්නේ මෙරට විදේශ ණය සහ අයවැය හිඟය පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බවයි.
ශ්‍රී ලංකා රජයේ ණය මූඩීස් විසින් “B1“ ලෙස වර්ගීකරණය කර තිබෙන අතර එය ආයෝජන මට්ටමට (investment grade) වඩා අඩු ණය වර්ගීකරණයකි.
2009 වසරේදී යුද්ධය අවසන් කළ විගසම ඉතාමත් වේගයෙන් ඉහළ ගිය මෙරට ආර්ථික වර්ධනය මේ වනවිට එම ප්‍රමාණයට වඩා අඩුවී තිබුණත් අනිකුත් සමාන රටවල් සමග සැසඳීමේදී ඉහළ යැයි මූඩීස් වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම කාලයේදී ලංකාවට සෘජු විදේශ ආයෝජන වැඩි වශයෙන් පැමිණ තිබෙන බවද සඳහන්ය.
ශ්‍රී ලංකාවේ රජයේ ණය ප්‍රමාණය අඩුකර ගැනීමට පසුගිය දශකයේදී කටයුතු කර තිබුණත් අනිකුත් සමාන රටවල් සමග සැසඳීමේදී මෙරට රජයේ ණය ප්‍රමාණය තවමත් අවධානම් සහගත ආකාරයට ඉහළ බව මූඩීස් සඳහන් කර තිබේ.
මෙරට රාජ්‍ය ආදායමින් තුනෙන් එකක්ම වැයවන්නේ විදේශ ණය සඳහා පොලී ගෙවීමට බව වැඩිදුරටත් සඳහන්ය.
Video Story