ලංකාවේ Norfolk Foods අයිති කරගන්න තායිලන්තයෙන් එයි

    July, 17, 2016

    මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන Norfolk Foods (පුද්) සමාගමේ 80% ක කොටස් අයිතිය අත්පත් කර ගැනීමට තායිලන්තයේ Charoen Pokphand Foods සමාගම පසුගිය දා කටයුතු කරනු ලැබීය.

    තායිලන්ත සමාගම විසින් මෙම ව්‍යාපාරික අත්පත් කර ගැනීම සඳහා ආයෝජිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 4 කි.

    Charoen Pokphand Foods සමාගම වෙනුවෙන් එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන CPF Investment Ltd විසින් මෙම ව්‍යාපාරික අත්පත් කරගැනීම සිදුකරනු ලැබූ අතර එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සතුව තිබූ සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 50% ක කොටස් අයිතිය සහ ඉතිරිය එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ මොහොමඩ් සියාඋඩීන් හා සරීහා සියාඋඩ්ඩීන් යන අයගෙන් මිල දී ගෙන තිබේ.

    Crescent වෙළෙඳනාමය යටතේ එන සැකසූ කුකුල් මස්, සමෝසා, චීස්, සෝසේජස්, මීට්බෝල්ස් ආදිය නිෂ්පාදනය කරනු ලබන Norfolk Foods (පුද්) සමාගම 1994 දී ආරම්භ කරනු ලැබූවකි.

    පසුගිය ජූලි 14 වන දින මෙම ගනුදෙනුව සිදුවූ අතර එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් විසින් Norfolk Foods (පුද්) සමාගමේ සිය 50% ක කොටස් හිමිකාරීත්වය මෙහිදී අලෙවි කොට ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක වටිනාකමකටය.