March, 5, 2015
ලයිස්තුගත ලංකා හොස්පිට්ල්ස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය සඳහා 2015 මාර්තු 03 වනදා සිට බලපැවැත්වෙන පරිදි සාමාජිකයින් 04 දෙනෙකු පත්කර ඇතැයි සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.
මේ අනුව, සමාගමේ සභාපතිවරයා සහ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස වෛද්‍ය සරත් පරණවිතාන මහතා පත්කර තිබෙන අතර ඩේමියන් ප්‍රනාන්දු මහතාද ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇත.
මීට අමතරව, මහාචාර්ය දිලානි ලොකුහෙට්ටි මහත්මිය ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර තිබෙන අතර වෛද්‍ය රොහාන් එල්. විජේසුන්දර මහතාද ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර තිබේ.
මොවුන්ගේ පසුබිම පිළිබඳව සම්පූර්ණ විස්තරයක් මෙන්න!




නව රජය බලයට පත්වීමෙන් පසුව මුදල් අමාත්‍යංශය යටතට වැටෙන ලංකා හොස්පිට්ල්ස් හි, ප්‍රධාන තනතුරු සියල්ලම පාහේ වෙනස් වූ අතර දිගු කාලයක් මෙහි ප්‍රධාන විධායක ධූරය දැරූ ලකිත් පීරිස් මහතාද ඉන් ඉවත් විය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මීට පෙර අවස්ථාවක අප සමග පැවසුවේ ලංකා හොස්පිට්ල්ස් හි, නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සරත් පරණවිතාන මහතා පත්කළ බවයි.
ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ නියෝජ්‍ය ලේකම් තීනියාවල පාලිත හිමි ඇතුළු 13 දෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් ලංකා හොස්පිට්ල්ස් සඳහා නම්කර තිබෙන බවත් ඉදිරියේදී එම අධ්යක්ෂ මණ්ඩලය නිවේදනය කළ හැකි බවත් මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසීය.
කෙසේවෙතත්, ලංකා හොස්පිට්ල්ස් විසින් නිවේදනය කර තිබෙන අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනා අතර තීනියාවල පාලිත හිමියන් නොමැත.
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික රෝහලක් වන ලංකා හොස්පිට්ල්ස් 2002 වසරේදී ආරම්භ වන්නේ චෙන්නායි පදනම් කරගත් ඇපලෝ රෝහල් සමාගමේ ආයෝජනයෙන් ඇපලෝ රෝහල ලෙස රජයට අයත් නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ පිහිටි ඉඩමකයි.
පසුව, ඇපලෝ රෝහල අයත්වූ ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් සමාගමේ සියයයට 30 ක කොටස් ඉන්දියානු ඇපලෝ රෝහල් සමාගම විසින් 2006 වසරේදී සුප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා නායකත්වය දුන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් මිලියන 1,456 කට විකුණා දැමීය. සුළු කොටස් හිමියන් දෙදෙනෙකුද තමන් සතුවූ සියයට 09 කට ආසන්න කොටස් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට විකුණූ අතර ලංකා හොස්පිට්ල්ස් හි, ස්ටැසන්ස් සමාගම් සමූහයේ සමාගම් වලට අයත් වූ කොටස් ප්‍රමාණය මේ සමග සියයට 80 ඉක්මවීය.
2009 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පුද්ගලීකරණය කිරීමේ ගනුදෙනුව අවලංගු කර එම කොටස් මුදල් අමාත්‍යංශය යටතට පත්කිරීම හමුවේ ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් සමාගමේ රක්ෂණ සංස්ථාවට හිමිවූ කොටස්වල අයිතිය රජයට හිමිවිය.
මේ වනවිට, ලංකා හොස්පිට්ල්ස්හි කොටස් වලින් සියයට 55 ක් පමණ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් වන අතර සියයට 10 ක් පමණ අයත් වන්නේ ලංකා බැංකුවටයි.
සියයට 28 ක් පමණ ඉන්දියානු Fortis Healthcare සමාගමට අයත් වන අතර ඉතිරි සියයට 8 ක පමණ ප්‍රමාණය කොළඹ කොටස් වෙළඳ පොළ හරහා කොටස් කරුවන්ට අයත් වේ.
මේ අනුව, කොළඹ කොටස් වෙළඳ පොළ හරහා ලංකා හොස්පිට්ල්ස් හි, කොටස් හිමි කොටස්කරුවන් 8500 ක් පමණ සිටී.
2014 මුල් මාස 09 තුළදී ලංකා හොස්පිට්ස්ල් සමූහය විසින් රුපියල් මිලියන 269 ක ලාභයක් වාර්තා කර ඇත.
Video Story