August, 6, 2025
වසර 55කට වැඩි කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ INSEE සංස්ථා සහ මහවැලි Marine Plus යන ප්‍රමුඛතම සන්නාමයන් මෙරටට හඳුන්වා දුන්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති සමාගම වන INSEE සිමෙන්ති, ශ්‍රී ලාංකික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා තිරසර බව වෙනුවෙන් සුවිශේෂී කටයුත්තකට පසුගිය දා මුලපුරනු ලැබීය. මෙහි මුල් පියවරක් ලෙස, උසස් තාක්ෂණ කටයුතු සඳහා ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනය වන ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සමඟ සහයෝගීතා පර්යේෂණ වැඩසටහනක් සඳහා හවුල්කාරීත්වයක් අරඹන්නට INSEE සිමෙන්ති සමාගම කටයුතු කළේය.
මීට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පසුගිය දා පැවති උත්සවයකදී දෙපාර්ශවයේම ඉහළ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු අතර මේ සඳහා, INSEE සිමෙන්ති නියෝජනය කරමින් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, තුසිත් ගුණවර්ණසූරිය, නිෂ්පාදන අධ්‍යක්ෂ, සුෂිල් රතෝර්, නිෂ්පාදන හා විසඳුම් සමූහයේ අධ්‍යක්ෂ, ආචාර්ය මුසා බාල්බාකි සහ තත්ත්ව හා තාක්ෂණ සාමාන්‍යාධිකාරී කාලින්ද දසනායක යන මහත්වරුන් සහභාගි විය. SLINTEC වෙනුවෙන්, වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය සමන් සෙනේවීර, ප්‍රධාන විද්‍යාඥ, ආචාර්ය සංජීව විජේසිංහ, ව්‍යාපාර සංවර්ධන විධායක නිලධාරිනී, සෙව්මිණි යාපා සහ පර්යේෂණ විද්‍යාඥ නදුන් රණේපුර යන පිරිස සම්බන්ධ විය.
ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, තුසිත් ගුණවර්ණසූරිය මහතා අදහස් දක්වමින්,“ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස INSEE සිමෙන්ති, මෙවැනි උපායමාර්ගික සහයෝගීතාවයන් තුළින් ශ්‍රී ලංකාවේ ඉදිරිකිරීම් අංශයේ අර්ථාන්විත වෙනසක් සමඟ ඉදිරියට ගෙන යාම උදෙසා නිරන්තරයෙන් කැපවී සිටින සමාගමක්. SLINTEC සමඟ ඇති කරගත් මේ හවුල්කාරීත්වය තුළින් අඩු කාබන් විමෝචනයක් සහිත, අනාගතයට ඔබින ඉදිකිරීම් විසඳුම් නිර්මාණය කිරීමට සහය වන අතර, එමඟින් කර්මාන්ත ක්ෂේත්‍රය පාරිසරික වශයෙන් වඩාත් වගකිවයුතු අනාගතයක් කරා මෙහෙයවීම ඉදිරියටත් සිදුවනු ඇත.” යනුවෙන් සඳහන් කළේය.
මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය මඟින් INSEE සිමෙන්ති සමාගමට, තිරසරභාවය සහ කාර්යසාධන විශිෂ්ටත්වය කෙරෙහි අවධානය යොමු කරමින් තම නිෂ්පාදන පෙළ තවදුරටත් වැඩි දියුණු කරන්නට හැකියාව ලැබේ. වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස, INSEE සිමෙන්ති ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් හැඩගැස්වීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අර්ථවත් ප්‍රගතියක් ඇති කිරීමට මෙවැනි උපායමාර්ගික හවුල්කාරීත්වයන් සඳහා නිරන්තර අවධානය යොමු කරයි.
මෙම සුවිශේෂී මුලපිරීම ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනයන් සඳහා ආයතන දෙකම දක්වන පොදු කැපවීම ද පිළිබිඹු කරයි. තාක්ෂණික විශේෂඥතාව සහ දූරදර්ශී චින්තනය එක් කරමින් අනාගතයට සරිලන, පාරිසරික වශයෙන් වගකිවයුතු විසඳුම් එක්ව සංවර්ධනය කිරීම සඳහා වඩාත් සවිමත් කර්මාන්ත ක්ෂේත්‍රයකට මග පාදන්නටත්, තිරසර ඉදිකිරීම් පිළිවෙත් සඳහා නව මිණුම් සලකුණු තබන්නටත් මෙම හවුල්කාරීත්වය හේතුවනු ඇති බව නිසැකය.