ලැයිස්තුගත සමාගම්වල සැප්තැම්බර් කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල නිකුත් කිරීම ඇරඹෙයි

    October, 16, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල 2025 සැප්තැම්බර් 30න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ඊයේ (15) දින සිට ආරම්භ විය.

    එහිදී LB ෆිනෑන්ස්, ලංකා අශෝක් ලේලන්ඩ් සහ ලංකා IOC යන ලැයිස්තුගත සමාගම්වල නවතම මූල්‍ය වාර්තා ඊයේ දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කර තිබුණි.

    LB ෆිනෑන්ස් සමාගම මෙහිදී රු. බිලියන 3.09ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇති අතර එය පසුගිය වසරේ සැප්තැම්බර් කාර්තුව හා සැසඳීමේ දී 24% ක වර්ධනයක් වේ.

    මේ අතර පසුගිය වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදයට සාපේක්ෂව 108%ක වර්ධනයක් අත්පත් කරගනිමින් පසුගිය මූල්‍ය කාර්තුවේ දී රු. මිලියන 683ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම සමත්ව තිබේ.

    ඊයේ දින මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කළ ඉතිරි සමාගම වූ ලංකා IOC පීඑල්සී, 2025 සැප්තැම්බර් කාර්තුවේ දී රු. බිලියන 2.95ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. එය පසුගිය වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදයට සාපේක්ෂව 17% වර්ධනයකි.