ලිට්රෝ ගෑස් ගාලු සමය 2015 වෙළඳ ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳ ගනී

    January, 4, 2016

    මෙරට විශාලතම ද්‍රව පෙට්‍රෝලියම් (LPG) ආනයනකරු මෙන්ම, වෙළඳපල ප්‍රමුඛයා ද වන, ලිට්රෝ ගෑස් ලංකා සමාගම, පසුගියදා නිමාවට පත් වූ "ගාලු සමය 2015" සල්පිල සහ වෙළඳ ප්‍රදර්ශනය සඳහා සාදර සම අනුග්‍රාහකත්වය ලබා දුන්නේය. වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනය දකුණු පළාතේ පැවැත්වෙන වඩාත් ප්‍රමුඛතම සහ ජනප්‍රියතම වෙළඳ ප්‍රදර්ශනයක් ලෙස සැලකේ.

    සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ගාලු පුරවරය සතු පොහොසත් සම්ප්‍රදායය සහ සුවිශේෂිතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කෙරුණු "ගාලු සමය 2015" සල්පිල සහ වෙළඳ ප්‍රදර්ශනය දෙසැම්බර් මස 27 වනදා සිට 31 වනදා දක්වා පැවැත්විණි. සිත්ගන්නාසුළු වෙළඳ කුටි රැසකට අමතරව සංගීත සංදර්ශන, චිත්‍රපට උළෙල, සංස්කෘතික සංදර්ශන, නාට්‍ය සහ විලාසිතා සංදර්ශන ඇතුළු විවිධාංග රැසකින් ද උළෙල වර්ණවත් විය.

    "දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සමග, මෙරට ජාතික LP ගෑස් සැපයුම්කරු ලෙස ගාලු සමය 2015 වෙළඳ සල්පිල හා ප්‍රදර්ශනයට සම අනුග්‍රාහකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා." ලිට්රෝ ගෑස් සමාගමේ විධායක සභාපති ශලිල මුණසිංහ මහතා සඳහන් කළේය.

    ව්‍යවසායකත්වය නගාසිටුවීම සඳහා මනා තෝතැන්නක් බවට පත් වූ වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව, ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී කෘෂිකර්මාන්ත, වාණිජ සහ කුඩා කර්මාන්ත වෙනුවෙන් වෙන් කර තිබූ අතර, ධර්මපාල ක්‍රීඩාංගනය විද්‍යාත්මක මල් වගාව, උද්‍යාන අලංකරණ, කාබනික කෘෂිකර්මාන්ත සහ පශු සම්පත් අංශය වෙනුවෙන් වෙන් කර තිබිණ. මීට අමතරව, අපනයන කේන්ද්‍රීය කෘෂිකර්මාන්තය, කුළුබඩු සහ භූ දර්ශන ප්‍රදර්ශන ද මෙහිදී ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි.

    මෙහිදී පැවති පැරණි මෝටර් රථ පෙළපාලිය, හමුදා සංගීත සංදර්ශන, කුළුබඩු සහ රසකැවිලි සල්පිල මෙන්ම කලා, අත්කම්, ඡායාරූප, සම්ප්‍රදායික ලණු, මැණික් හා ස්වර්ණාභරණ, රූකඩ, පොත් ප්‍රදර්ශන හා කෞතුකාගාරය ද ගාල්ල පුරයට නැවුම් ජීවයක් එක් කිරීමට සමත් විය.

    "ගාලු සමය 2015 සල්පිල සහ වෙළඳ ප්‍රදර්ශනයෙන් ලබා ගත් අරමුදලින් මෙරට පැරණිතම පුස්තකාලයවන ගාලු කොටුව පුස්තාකලය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යෙදවීමට අප කටයුතු කරනවා. එම අරමුදලින් තවත් කොටසක්, ගාලු කොටුවේ පැරණි තැපැල් කන්තෝරු ගොඩනැගිල්ලේ යෝජිත අධ්‍යාපන සහ සංස්කෘතික සංකීර්ණය යළි පිළිසකර කිරීමටත්, සංවර්ධනය කිරීමටත් යෙදවෙනු ඇති." දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

    ගාලු වරාය සහ තොටුපල මූලෝපායික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක පිහිටා තිබෙන බැවින් අතීතයේ පටන්ම ගාලු පුරය ලොව පුරා ජාත්‍යන්තර වෙළඳාම සහ රාජතාන්ත්‍රික කටයුතු සඳහා ලොව අවධානයට ලක් වූ සුවිශේෂී වෙළඳ කේන්ද්‍රස්ථානයකි. ස්වභාව සෞන්දර්යයෙන් අනූන ගාලු පුරය විවිධ බුද්ධිමතුන්, ජාතික විරුවන්, කවීන් සහ ලේඛකයන් රැසක් ලොවට දායාද කළ භූමියකි. ගාලු සමය මීට දශක හතකට පමණ පෙර ද ගාලු නගරයේ පවත්වා ඇති බවට ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. පුද්ගලික අංශයේ ද සහයෝගයෙන් යුතුව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා එම ඓතිහාසික වෙළඳ ප්‍රදර්ශනයට යළි ජීවය ලබා දීමට කටයුතු කළේය.

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ, ගාල්ල දිස්ත්‍රික් ලේකම්, දකුණු පළාත් ප්‍රධාන ලේකම් හා ගාල්ල පුරපතිතුමන්ගේ සහයෝගයෙන් යුතුව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, දකුණු පළාත් සභාව හා ගාලු කොටුව පුස්තකාලය විසින් ගාලු සමය සල්පිල සහ වෙළඳ ප්‍රදර්ශනය සංවිධානය කෙරේ.

    ලිට්රෝ ගෑස් ලංකා සමාගම ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් අලෙවිකරණයේ සහ විකුණුම් ක්ෂේත්‍රයේ මෙරට ප්‍රමුඛයා වෙයි. ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම යනු එහි අනුබද්ධිත සමාගමයි. ලිට්රෝ ගෑස් සන්නාමයේ හිමිකාරීත්වය දරන සමාගම, දිවයින පුරා පිහිටි අලෙවි මධ්‍යස්ථාන 5,000 ක් තුළින් සිය පාරිභෝගික ජනතාවට සේවය සලසයි. දැඩි ආරක්ෂණ විධික්‍රම ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ලිට්රෝ ගෑස් සමාගම කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. සමාගම අනුගමනය කරන ව්‍යාපාරික මූලෝපායන් ද ක්ෂේත්‍රය තුළ වැදගත් ආදර්ශකයක් ලෙස සැලකේ.