March, 3, 2016
මෙරට විශාලතම ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) ආනයනකරු මෙන්ම වෙළඳපල ප්‍රමුඛයා ද වන ලිට්රෝ ගෑස් සමාගම, පසුගියදා අපූර්ව ඉවුම්-පිහුම් තරගයක් සංවිධානය කළේය. ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය සමග අත්වැල් බැඳ ගනිමින් සංවිධානය කෙරුණු මෙම සුවිශේෂී තරගය සඳහා තරගවැදුනේ Miss Tourism Sri Lanka International තරගාවලිය සඳහා විවිධ රටවලින් සහභාගී වූ රූප රාජිණියන් 20 දෙනාය.
කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති මෙම තරගය මෙරට ප්‍රවීණ සූපවේදීන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් විනිශ්චය කෙරිණි. තරගකාරියන් A,B,C,D සහ E ලෙස කණ්ඩායම් පහකට වෙන් කරන ලද අතර, ආහාර පිසීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ භාණ්ඩ සැපයිණි.
ලක්සම්බර්ග්, මැලේසියාව, නෙදර්ලන්තය සහ පිලිපීන රූප රාජිණියන්යන්ගෙන් සැදුම්ලත් C කණ්ඩායම තරගයේ ජයග්‍රහණය හිමි කර ගත්තේය. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ස්පයිසි චිකන්, පස්ටා සහ සලාද සඳහා විනිශ්චය මණ්ඩලයේ ඉහල ප්‍රතිචාර හිමි විය. ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, චීනය, ඩෙන්මාර්කය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මැලේසියාව, නෙදර්ලන්තය, පිලිපීනය, පෝලන්තය, රුසියානු සමූහාණ්දුව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, ස්වීඩනය, තායිලන්තය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය ආදී රාජ්‍යයන් නියෝජනය කරන රූප රාජිණියෝ ගී ගයමින්, නර්තනයෙහි යෙදෙමින් විනෝදකාමී ලෙස ඉවුම්-පිහුම් කටයුතු වල නිරත වූහ.
"ලොව විවිධ රාජ්‍යයන් නියෝජනය කරන මෙම රූප රාජිණියන් හට ඉවුම්-පිහුම් තරගයක් සංවිධානය කිරීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. විනෝදයෙන් පිරි මෙම තරගය සැමගේ මුවග සිනහවක් එක් කිරීමට සමත් වුණා." ලිට්රෝ ගෑස් සමාගමේ විකුණුම් සහ අලෙවි අධ්යක්ෂ චමින්ද එදිරිවික්රම මහතා සඳහන් කළේය.
"අපි අපේ කණ්ඩායම අංශ හතරකට බෙදා ගත්තා. අපට ලැබුණේත් අනෙක් කණ්ඩායම් වලට ලැබුණු අමුද්රව්යමයි. අපට අවශ්‍ය වුණා එම අමුද්‍රව්‍ය භාවිතා කරමින් විශේෂ යමක් පිසීමට. කණ්ඩායමේ සියලු දෙනාගේ අදහස් විමසීමෙන් අනතුරුව අප ක්‍රමවේදය සැලසුම් කළා. අප ඉතා විනෝදයෙන් තරගයට සහභාගී වූ අතර, මෙය එකිනෙකා හොඳින් හඳුනා ගැනීමට ද මහඟු අවස්ථාවක් වුණා." එක්සත් රාජධානියේ රූප රාජිණී ලෝරා ජේන් ග්‍රෙගරි මෙනවිය ප්‍රකාශ කළාය.
මෙම තරගය පිළිබඳ අදහස් දක්වමින් ලිතුවේනියා රූප රාජිණී එන්රිකා ට්රෙප්කියුටේ සිලින්ස්කීන් මෙනවිය සඳහන් කළේ තරගය අතරතුර සියලු දෙනාගේ මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට හැකි වූ බවය. නෙදර්ලන්ත රූප රාජිණිය Ms Tourism Sri Lanka International කිරුළ හිමි කර ගත් අතර, මැලේසියා සහ ලිතුවේනියා රූප රාජිණියෝ දෙවන සහ තෙවන ස්ථාන හිමි කර ගත්තෝය. විශිෂ්ටතම ජාතික ඇඳුමට හිමි සම්මානය ශ්‍රී ලංකාවට හිමි විය.
වර්තමානයවන විට ලිට්රෝ ගෑස් සමාගම දිවයින පුරා පිහිටි අලෙවි මධ්‍යස්ථාන 5,000 ක් තුළින් සිය පාරිභෝගික ජනතාවට සේවය සලසයි. දැඩි ආරක්ෂණ විධික්රම ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ලිට්රෝ ගෑස් සමාගම කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. සමාගම අනුගමනය කරන ව්‍යාපාරික මූලෝපායන් ද ක්ෂේත්රය තුළ වැදගත් ආදර්ශකයක් ලෙස සැලකේ.
සේයා රූ සටහන : "Live Cook-off" තරගයේ ජයග්‍රාහී C කණ්ඩායම ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලිල මුණසිංහ මහතා අතින් සම්මානය හිමි කර ගත් මොහොත. අනෙකුත් නිලධාරීහු ද පසෙක වෙති.
Video Story