ලිට්රෝ ගෑස් වෙතින් කොළඹ ජාතික රෝහලට රුධිර පීඩනමාන

    March, 21, 2016

    ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) මෙරටට ගෙන්වා බෙදා හැරීමේ සහ වෙළඳපල ප්‍රමුඛයාවන ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම, නිරෝගී සමාජයක් බිහි කිරීම සඳහාවන සිය ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස කොළඹ ජාතික රෝහලට රුධිර පීඩනමාන පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේය.

    මෙරට පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව මෙරට ජනතාවගෙන් සෑම 100 දෙනෙකු අතරින් 20 දෙනෙකු අධික රුධිර පීඩනයෙන් පෙලෙන බවත්, ඊට මූලිකවම බලපානු ලබන්නේ කෘමිනාශක යොදන ලද ආහාර ගැනීමත්, වැරදි ආහාර පුරුදුත් බව තහවුරු වී ඇත. වෛද්‍ය උපදෙස් ලබා ගැනීම, වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු වීම සහ මෙවැනි බෝ නොවන රෝග එදිනෙදා කළමනාකරණය කිරීම කෙතරම් වැදගත් ද යන්න මෙමගින් වඩාත් පැහැදිලි වේ. එවැනි අවස්ථාවකදී රුධිර පීඩනමාන 40 ක් රෝහලේ කටයුතු සඳහා බෙහෙවින් වැදගත් වේ. ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලිල මුණසිංහ, ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ අධ්‍යක්ෂ නොබර්ට් ප්‍රනාන්දු, එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හේමලාල් පෙරේරා, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල ජාසිංහ, කොළඹ ජාතික රෝහල් කාර්ය සභික වෛද්‍ය රිස්වි ෆාරුක් ඇතුළු ලිට්රෝ ගෑස් සමාගමේ සහ කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩල සාමාජිකයෝ රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

    වර්තමානයවන විට ලිට්රෝ ගෑස් සමාගම දිවයින පුරා පිහිටි අලෙවි මධ්‍යස්ථාන 5,000 ක් තුළින් සිය පාරිභෝගික ජනතාවට සේවය සලසයි. දැඩි ආරක්ෂණ විධික්‍රම ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ලිට්රෝ ගෑස් සමාගම කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. සමාගම අනුගමනය කරන ව්‍යාපාරික මූලෝපායන් ද ක්ෂේත්‍රය තුළ වැදගත් ආදර්ශකයක් ලෙස සැලකේ.

    සේයා රූ සටහන : ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලිල මුණසිංහ මහතා (වමේ සිට තුන්වැන්නා) කොළඹ ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත උපකරණ තොගය නිල වශයෙන් බාර දුන් අවස්ථාව. ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ හේමලාල් පෙරේරා, එම සමාගමේ අධ්‍යක්ෂ නොබර්ට් ප්‍රනාන්දු, ජාතික රෝහල් කාර්ය සභික වෛද්‍ය රිස්වි ෆාරුක් සහ එම රෝහලේ භාණ්ඩාගාරික සරත් ගුණසේකර යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.