ලිට්රෝ ගෑස් Miss Tourism Sri Lanka International තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දෙයි

    January, 17, 2016

    මෙරට විශාලතම ද්‍රව පෙට්‍රෝලියම් (LPG) ආනයනකරු මෙන්ම, වෙළඳපල ප්‍රමුඛයා ද වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම Miss Tourism Sri Lanka International තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දීමට ඉදිරිපත් විය. පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ලොව පුරා රාජ්‍යයන් රැසක් නියෝජනය කරමින් රූප රාජිණියන් 20 දෙනෙක් සහභාගී වීමට නියමිතය.

    පෙබරවාරි මස 21 වනදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන මෙම තරගාවලිය මෙරට රූප සුන්දරී ක්ෂේත්‍රය මෙන්ම මෙරට කීර්තිනාමය ද නංවාලීමට සමත් වනු ඇත. ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, චීනය, ඩෙන්මාර්කය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මැලේසියාව, නෙදර්ලන්තය, පිලිපීනය, පෝලන්තය, රුසියානු සමූහාණ්ඩුව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, ස්වීඩනය, තායිලන්තය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යන රාජ්‍යයන් නියෝජනය කරමින් රූප රාජිණියෝ තරගාවලියට සහභාගී වෙති.

    "රූප සුන්දරී ක්ෂේත්‍රය පමණක් නොව, මෙරට කීර්තිනාමය ද ලෝකය පුරා ප්‍රචලිත කිරීමේ මහඟු අවස්ථාවක්වන මෙය සඳහා ජාතික ද්‍රව පෙට්‍රෝලියම් සමාගම ලෙස අනුග්‍රාහකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. මෙය, ශ්‍රී ලංකාව සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් ලොව පුරා ප්‍රචලිත කිරීමේ වැදගත් අවස්ථාවක්වන බව නොඅනුමානයි." ලිට්රෝ ගෑස් සමාගමේ විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ චමින්ද එදිරිවික්‍රම මහතා සඳහන් කළේය.

    "සත්කාරක ක්ෂේත්‍රය ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධානතම පාරිභෝගික පදනමක් වනවා. මෙවැනි උළෙලකට අප අනුග්‍රාහකත්වය ලබා දෙන පළමු අවස්ථාව මෙයවන අතර, ඉදිරියේදී ද මෙවැනි අවස්ථා සඳහා සම්බන්ධ වීම අපගේ අරමුණයි." ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම තරගාවලියෙන් පසුව එළඹෙන මාසයේ 19 වනදා රූ රැජිණියන් සඳහා විනෝදයෙන් පිරි ඉවුම්-පිහුම් තරගයක් ද ලිට්රෝ ගෑස් සංවිධානය කර ඇත.

    මෙරට මැණික් භාවිතා කරමින් ෆයින් ස්වර්ණාභරණ සමාගම විසින් නිර්මාණය කරන ලද කිරුළ ජයග්‍රාහිකාවගේ හිස මත පළඳවනු ලබන අතර, ඇය කිරුළ දරන කාලය තුළ මෙරට සංචාරක ප්‍රවර්ධන තානාපතිනියක ලෙස කටයුතු කරනු ඇත.

    ප්‍රධාන තරගාවලියට අමතරව කුසලතා, කැට් වෝක්, ස්විම්වෙයාර්, අනුකුලතාව, ඡායාරූපවලට පෙනී සිටීමේ හැකියාව, පෞරුෂත්වය, විශිෂ්ටතම ජාතික ඇඳුම සහ විශිෂ්ටතම සන්ධ්‍යා ගවුම සඳහා ද ජයග්‍රාහිකාවන් තෝරා ගැනෙනු ඇත.

    තරගාවලිය සඳහා සහභාගීවන තරගකාරියන් මෙරට නගර පුරා සංචාරය කිරීමට ද නියමිත බැවින්, මෙම අවස්ථාව මෙරට ජනතාවගේ විශේෂ ආදරයට සහ අවධානයට ලක්වනු ඇත. ශ්‍රී ලාංකේය භූමියේ ඇති චමත්කාරජනක බව ප්‍රවර්ධනය කිරීමේලා සමාජ ජාල වෙබ් අඩවි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇති බව සංවිධායකයන්ගේ මතයයි. රාජ්‍ය අනුග්‍රාහකත්වය සහිත දේශීය ගමනාගමන සහ සත්කාරක ක්ෂේත්‍රය, රූපලාවන්‍ය ක්ෂේත්‍රය සහ තවත් සංවිධාන රැසක් මෙම සුවිශේෂී උළෙල සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට ඉදිරිපත්ව සිටී.

    වර්තමානයවන විට ලිට්රෝ ගෑස් සමාගම දිවයින පුරා පිහිටි අලෙවි මධ්‍යස්ථාන 5,000 ක් තුළින් සිය පාරිභෝගික ජනතාවට සේවය සලසයි. දැඩි ආරක්ෂණ විධික්‍රම ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ලිට්රෝ ගෑස් සමාගම කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. සමාගම අනුගමනය කරන ව්‍යාපාරික මූලෝපායන් ද ක්ෂේත්‍රය තුළ වැදගත් ආදර්ශකයක් ලෙස සැලකේ.

    ලිට්රෝ ගෑස් සමාගමේ විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ චමින්ද එදිරිවික්‍රම (මැද) මහතා Miss Tourism Sri Lanka International බලයලත් හිමිකාරිනී/අධ්‍යක්ෂිකා රොසිටා වික්‍රමසිංහ (දකුණ) මහත්මියට අනුග්‍රාහක චෙක්පත නිල වශයෙන් පිරිනැමූ මොහොත. ලිට්රෝ ගෑස් සමාගමේ වෙළඳපල සහ වෙළඳපල සංවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකාර නසිර් ලතීෆ් මහතා ද ඡායාරූපයේ වෙයි.