December, 19, 2024
ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය රටේ ගෘහ හා කාර්මික අවශ්‍යතා සඳහා පවතින ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් වන අතර, ලුණු අස්වැන්න කාලගුණික තත්ත්වයන් මත රඳා පවතී. රට තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය වෙළෙඳපොළේ ගෘහ සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා වන ලුණු සැපයීමේ හිඟයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වී තිබේ. ඒ සඳහා පිළියමක් ලෙස සකස් කර වෙළෙඳපොළට සැපයීම පිණිස පවතින තීරු බදු අනුපාතය අනුව අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ලුණු නිෂ්පාදකයින් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව, 2025‑01‑31 දින හෝ ඊට පෙර සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයින් මඟින් වෙළෙඳපොළට සැපයීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story