ලොව පුරා පරිගණක පද්ධතිවල බිඳවැටීමක්

    July, 19, 2024

    මේ වන විට ලොව පුරා රටවල් රැසක, මයික්‍රොසොෆ්ට් පරිගණක පද්ධතීන් හි බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඕස්ට්‍රේලියාව, ඉන්දියාව ඇතුළු රටවල් රැසක බැංකු, ගුවන් ගමන්, කොටස් වෙළෙඳපොළ ආදී අංශ රැසක්ම මේ වන විට අඩපණ වී තිබේ.

    මේ අතර ගුවන්තොටුපළ හි ප්‍රවේශ කවුළු අක්‍රීය වීම හේතුවෙන් ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, Manual ආකාරයෙන් කිරීමට සිදුව ඇති බවත්, මේ හේතුවෙන් ගුවන් තොටුපළ කවුළුවල දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවත් වාර්තා වේ.

    මෙම බිඳවැටීම ඕස්ට්‍රේලියාවට දරුණු බලපෑමක් එල්ල කර ඇති අතර එරට ජනමාධ්‍ය පවා අඩපණ කිරීමට සමත්ව ඇති බව කියැවේ. මේ අතර එක්සත් රාජධානියේ Sky News පුවත් සේවය ද මේ වන විට සිය විකාශන කටයුතු අත්හිටුවා ඇති බව BBC පුවත් සේවය වාර්තා කර සිටී.

    තවද ලන්ඩන් කොටස් වෙළෙඳපොළට ද මේ හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ.