ලෝක ප්‍රමිති දිනය වෙනුවෙන් තත්ත්ව සතියක්

    October, 10, 2017

    ඔක්තෝම්බර් 14දාට යෙදෙන ලෝක ප්‍රමිති දිනයට සමඟාමීව ජාතික තත්ත්ව සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ද එම සතිය ඊයේ (09) සිට ලබන 15දා දක්වා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා පැවසීය.
    ඒ මහතා මේ බව පැවසුවේ ජාතික තත්ත්ව සතිය පිළිබඳ ව දැනුම්වත් කිරීම වෙනුවෙන් ඊයේ එම ආයතනයේ  පැවැති  ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
    මෙවර ජාතික තත්ත්ව සතිය "ප්‍රමිති නගර විධිමත් කරයි" යන තේමාවෙන් ක්‍රියාත්මක වන අතර මෙම සතියක කාලය පුරා ජනතාව, කර්මාන්ත කරුවන් මෙන් ම පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ කටයුතු සිදු කෙරේ.
    රටවල් 25ක  නියෝජිතයින් 1946 වසරේ ඔක්තෝම්බර් 14 දින ලන්ඩන් නුවරදී රැස්ව ප්‍රමිතිකරණය පිළිබඳ කටයුතු කිරීමට අන්තර්ජාතික ආයතනයක අවශ්‍යතාවය පිළිබඳ ව සාකච්ඡා කොට ඇති අතර 1947වසරේ දී එය සංවිධානයක් ලෙස ස්ථාපිත කොට ඇත. එමෙන් ම මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 163ක් අන්තර්ජාතික ප්‍රමිති සංවිධානයේ (ISO) සමාජිකත්වය දරයි.
    පිටරටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩ හා යම් ද්‍රව්‍යයන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ප්‍රමිති ලබාදීම සිදුකරන අතර ම ඒ සම්බන්ධයෙන් වන නියාමන කටයුතු සිදු නොකරන බවත් රටේ යම් යම් නීති රීති වෙනස් කිරීම් සිදු කිරීමේ දී ඊට අදාළව වෙනස් වීම සඳහා කර්මාන්තකරුවන්ට සිදුවන බවත් සභාපතිවරයා මෙහිදී පැවසීය.
    ආර්ථිකයේ සියලු ම අංශවලට අදාළ ජාතික ප්‍රමිති ප්‍රකාශයට පත් කිරීම හරහා භාණ්ඩ අපනයනයේ දී ඉතා පහසුවක් වී ඇතැයි ද ප්‍රමිතියෙන් තොර භාණ්ඩ ගෙන්වීමට අවසර ලබානොදීම හේතුවෙන් විදේශ විනිමය ප්‍රමාණයක් ඉතුරු වන බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එන්.එන්. සතරසිංහ මහත්මිය පැවසුවාය.