ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් ශ්‍රී ලංකාවේ සංචාරයක

    February, 5, 2026

    ලෝක බැංකු සමූහයේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වී සිටී.

    ඒ මෙරට සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ රටේ ආර්ථිකය නගාසිටුවීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහායි.

    පරමේෂ්වරන් අයියර් මහතා ලෝක බැංකුවේ විධායක මණ්ඩලය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ කලාපීය රටවල් කිහිපයක් නියෝජනය කරයි.

    මෙම සංචාරය අතරතුර ඔහු මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙහි ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සමග සාකච්ඡාවක නිරත වී ඇති අතර ඒ සඳහා මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ වන ඩේවිඩ් සිස්ලෙන් ද සහභාගී වී ඇත.

    සාකච්ඡා අතරතුර, රැකියා උත්පාදනය සහ වර්ධනය සඳහා ප්‍රමුඛතා අංශ වන යටිතල පහසුකම්, කෘෂි ව්‍යාපාර, සෞඛ්‍ය සේවා, සංචාරක ව්‍යාපාරය සහ අගය එකතු කළ නිෂ්පාදන ඇතුළු අංශ පිළිබදව ලෝක බැංකු සමූහයේ විධායක අධ්‍යක්ෂවරයා විසින් අවධානය යොමු කර ඇත.

    ලෝක බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක වන මුලපිරීම් සමාලෝචනය කිරීමට සහ ඒවා ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන අරමුණු සමඟ තවදුරටත් පෙළගැස්වීමේ ක්‍රම ගවේෂණය කිරීමට ද මෙම සංචාරය අවස්ථාව සලසා දී ඇත.