October, 20, 2025
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත පිරිස, 2025 වසරේ ඔක්තෝබර් මස 13 සිට 18වන දින දක්වා වොෂින්ටන් ඩී.සී.හි පැවති ලෝක බැංකු සමූහයේ/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2025 වාර්ෂික රැස්වීම් අතරතුර දී, ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සක්‍රීයව සම්බන්ධ විය.
එම සාකච්ඡාවල දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය, ලෝක බැංකු සමූහයේ සභාපති, ආයතන ද්විත්වයේ ම ඉහළ පෙළේ නිලධාරීන් සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් හමු විය.
එහි දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත වූ නියෝජිත පිරිස වෙත ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රයත්න සඳහා ඉහළ සහයෝගයක් පළ විය. යෝග්‍ය රාජ්‍ය මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්ති ඇතුළු රටේ විචක්ෂණශීලී සාර්ව ආර්ථික කළමනාකරණය, මූල්‍ය පද්ධති ස්ථායීතාව සුරක්ෂිත කිරීමට ගන්නා ප්‍රයත්න, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාල සහ පාලනයේ අඛණ්ඩ වැඩි දියුණු කිරීම් සඳහා පුළුල් පිළිගැනීමක් හිමි විය.
බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික හවුල්කරුවන් සමඟ පැවති සාකච්ඡාවල දී, නව මූල්‍යන සහ ශක්‍යතා වර්ධනය සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් යටිතල පහසුකම්, බලශක්ති සහ ඩිජිටල්කරණය යන ක්ෂේත්‍රවල සංවර්ධන සහයෝගීතාව වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කෙරුණි. එමෙන් ම, ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ සහ ආර්ථික ප්‍රතිසංස්කරණයේ සුවිශේෂී සන්ධිස්ථාන පිළිබඳව යාවත්කාලීන තොරතුරු සපයමින් ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන සමඟ නියෝජිත පිරිස ඵලදායී ලෙස සම්බන්ධ වීම ඉහළ පිළිගැනීමකට ලක් වූ අතර, එය වෙළෙඳපොළ විශ්වාසය ශක්තිමත් කිරීමට සහාය විය. එක්සත් ජනපද වාණිජ මණ්ඩලය සමඟ පැවැත්වූ ඵලදායී සබඳතා සහ ආයෝජක සංසද සමඟ සක්‍රීයව සම්බන්ධ වීම හරහා විනිවිදභාවය, ආයෝජන ප්‍රවර්ධනය සහ ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම තවදුරටත් ඉස්මතු කෙරුණි. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී අත්කර ගෙන ඇති ප්‍රගතිය ඉහළ පැසසුමට ලක් වූ අතර, ඒ සඳහා අඛණ්ඩ සහයෝගීතාව සහතික කෙරුණි. එමෙන් ම, ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ සහ ආර්ථික ප්‍රතිසංස්කරණයේ සුවිශේෂී සන්ධිස්ථාන සම්බන්ධයෙන් සිදු කෙරුණු යාවත්කාලීන කිරීම් සඳහා ඉහළ පිළිගැනීමක් හිමි විය.
ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස හමුවේ දී, ශ්‍රී ලංකාව විසින් ණය අවදානම් අවම කිරීමේ සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ ගෝලීය ප්‍රයත්න අගය කෙරුණු අතර, අවසන් අදියරට ළඟා වෙමින් පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ජා.මූ. අරමුදල් වැඩසටහනේ මෑතකාලීන සන්ධිස්ථාන කෙරෙහි එහි දී අවධාරණය කෙරුණි. මහ බැංකු අධිපති ආචාර්ය වීරසිංහ මහතා, නිසි කලට ණය ප්‍රතිව්‍යුහගතකරණය, විනිවිදභාවය සහ තිරසර ප්‍රතිසංස්කරණවල වැදගත්කම පිළිබඳව මෙන් ම ණය තිරසාර වන නමුත් ඉහළ ණය සේවාකරණ බරක් සහිත රටවල් කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය. වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ පැහැදිලි ක්‍රියාවලි, ද්විපාර්ශ්වික ගිවිසුම් පිළිබඳ නිරන්තර යාවත්කාලීන කිරීම්, වගකීම් කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික මග පෙන්වීම සහ ඉහළ ණය විනිවිදභාවය සඳහා ශ්‍රී ලංකාව සහාය දැක්වූයේය. මෙම කරුණු දැක්වීමේ දී, යාවත්කාලීන කරන ලද ප්‍රතිව්‍යුහගතකරණ අත්පොත (Restructuring Playbook) අනුමත කෙරුණු අතර, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ගෝලීය ණය සම්බන්ධීකරණ ප්‍රයත්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැපවීම සහතික කරමින්, තිරසර ප්‍රතිසංස්කරණ සහ වෙළෙඳපොළ ප්‍රවේශය යළි ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගය පුළුල් කරන ලෙස ඉල්ලා සිටින ලදී.
මෙම රැස්වීම්වල සහ ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සාකච්ඡාවල ප්‍රතිඵල මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගමන් මග පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව තුළ පවතින විශ්වාසය අවධාරණය කෙරුණි. ප්‍රධාන පාර්ශ්වකරුවන් සහ මූල්‍ය ආයතන සමඟ පැවති ඵලදායී සබඳතා, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, ණය තිරසරබව සහ ආයෝජන තත්ත්වය සඳහා වන සහයෝගය ශක්තිමත් කර ඇත. නියෝජිතයින්ගේ මනා විනිවිදභාවෙන් යුතු සාකච්ඡා සහ යහ භාවිත සඳහා පවතින කැපවීම, “ශක්තිමත් ප්‍රතිපත්ති සහ ගෝලීය හවුල්කාරීත්වයන්ගේ සහාය ඇති ව ස්ථාවරත්වය සහ වර්ධනය කරා යන ස්ථිර මාර්ගයක ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටියි” යන පණිවිඩය වෙළෙඳපොළ සහ ආයෝජකයින් වෙත ලබා දෙයි.
Video Story