December, 5, 2014
ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70 කට වඩා පහළ යාම හමුවේ අද මැදියම් රැයේ සිට පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින්ද අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
මේ අනුව, ඔක්‌ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 150 ක් වන අතර ඔක්‌ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 158 ක් වේ.
මීට අමතරව, සුපර් ඩීසල් හෝ ස්‌ටාර් ලීටරයක නව මිල රුපියල් 133 ක්ද, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 111 ක්ද, භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 81 ක්ද වේ.
මේ වනවිට, ලෝක වෙළඳ පොළේ තිබෙන ඛනිජ තෙල් තොගය ඉතාමත් ඉහළ බවත් වාර්තා වන අතර සෞදි ආරාබිය පවසා තිබෙන්නේ ලෝක වෙළඳ පොළට සපයන බොරතෙල් ප්‍රමාණය අඩු නොකරන බවයි. ඔපෙක් සංවිධානයට අයත් රටවල් 12 අතුරින් වැඩිම ඛනිජ තෙල් සැපයුමක් කරන රට වන්නේ සෞදි අරාබියයි.
වාර්තා වන ආකාරයට ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් විශාල ලෙස අඩුවීමට මුහුණදීමට විසඳුම් සෙවීමේදී ඛනිජ තෙල් අපනයනය කරන රටවල් දෙකට බෙදී තිබේ.
එනම්, වෙනිසියුලාව සහ ඉරාකය ලෝක වෙළඳ පොළට සපයන ඛනිජ තෙල් ප්‍රමාණය අඩු කරද්දී ඇතැම් රටවල් සැපයුම අඩු නොකිරිමයි.