October, 3, 2025
ශ්‍රීලංකන් ගුවන් සේවය, දෙරණ සහ සිග්නල් එක්ව දරුවන්ට පුද දුන් අමිල තිළිණයක්
ශ්‍රීලංකන් ගුවන් සේවය ඔක්තෝබර් 01 දිනට යෙදුණු ලෝක ළමා දිනය නිමිත්තෙන් දරුවන් පිරිසකට ප්‍රථම වරට ගුවන් ගමනක අත්දැකීම ලබාදීමට කටයුතු කළේය. ඒ IdeaHell සංකල්පයකට අනුව ටීවී දෙරණ සහ යුනිලීවර් එක්ව සංවිධානය කළ ‘දෙරණ - සිග්නල් අහසින් ගමනක්’ වැඩසටහනේ කොටසක් වශයෙනි.
මේ යටතේ දීපව්‍යාප්තව පවත්වන ලද නිර්මාණ තරගයකින් තෝරාගත්, වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන් 250 දෙනෙකුට ශ්‍රීලංකන් ගුවන් සේවයේ Airbus A330-300 ගුවන් යානයක පැය දෙකක ගුවන් ගමනක නිරත වීමට අවස්ථාව උදා වූ අතර, එහිදී ඔවුන්ට ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගුවනේ සිට සිත් සේ දැකබලා ගැනීමට හැකියාව ලැබිණි. මේ දරුවන් අතරින් බහුතරයකගේ ප්‍රථම ගුවන් ගමන එය වීම විශේෂත්වයකි.
මේ සඳහා තෝරාගන්නා ලද දරුවන් මුලින්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සාදරයෙන් පිළිගන්නා ලද අතර, එහි බිම් මෙහෙයුම් කාර්ය මණ්ඩලය සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ කාර්ය මණ්ඩලය ඔවුන්ට ගුවන් තොටුපළේ මෙහෙයුම් සිදු වන ආකාරය පෙන්වා දුන්හ. එහිදී ඔවුන්ට Check-in ක්‍රියාවලිය සහ ගුවන් යානයකට ගොඩවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ඇතුළුව ජාත්‍යන්තර ගුවන් ගමනකදී සම්පූර්ණ කළ යුතු සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබිණි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් වූ මෙම දරුවන් රැගත් ගුවන් යානය, කොළඹ, ගාල්ල, ශ්‍රී පාදය, පිදුරුතලාගල, සීගිරිය, මුලතිව්, ඩෙල්ෆ්ට් දූපත, අනුරාධපුරය සහ මීගමුව ඇතුළුව ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්ථාන රැසකට ඉහළින් පියාසර කොට ආපසු කටුනායක ගුවන් තොටුපළට ළඟා විය. එහිදී දරුවන් ලැබූ අත්දැකීම ඇසුරින් නිර්මාණය කළ, පැයක කාලයක් පුරා දිවෙන විශේෂ වාර්තා වැඩසටහනක් ඔක්තෝබර් 06 දින දෙරණ රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතය.
“දරුවන්ගේ සිහිනවලට සීමාවක් නොතිබිය යුතු බව අප විශ්වාස කරනවා. ලෝක ළමා දිනයේදී දෙරණ සහ සිග්නල් සමග අත්වැල් බැඳගෙන මෙවැනි සුවිශේෂී කටයුත්තකට දායක වෙමින්, දරුවන්ට මවුබිමේ සුන්දරත්වය සිත් සේ දැකබලා ගැනීමට අවස්ථාව සලසා දීමට හැකි වීම අපට මහත් සතුටක්. මේ දරුවන් අතරින් බොහෝ දෙනෙක් ගුවන් ගමනක අත්දැකීම ලැබුවේ ජීවිතයේ ප්‍රථම වතාවටයි. ඉදිරියේදී ගුවන් නියමුවන්, ගවේෂකයන් මෙන්ම අනාගත නායකයන් බවට පත්වීමට සිටින දරු පිරිසකට මෙවැනි අවස්ථාවක් ලබාදීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.
"මෙම ගුවන් ගමන යථාර්ථයක් බවට පත් කරගැනීමට තම උපරිම සහයෝගය ලබාදීම වෙනුවෙන් අපගේ ව්‍යාපෘති හවුල්කරුවන් වන සිග්නල්, ශ්‍රීලංකන් ගුවන් සේවය සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම වෙත මා බෙහෙවින් කෘතඥ වෙනවා. එමෙන්ම මෙම සුවිශේෂී අත්දැකීම විඳගැනීමට වරම් ලැබූ වාසනාවන්ත දරුවන් සියලුම දෙනාට සුභ ප්‍රර්ථනා කිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා. මේ දරුවන්ගෙන් මා ඉමහත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින්නේ, කිසි විටෙකත් තම සිහින අත් නොහැර අධිෂ්ඨානයෙන් යුතුව තම අරමුණු කරා ළඟා වන ලෙසයි.” දෙරණ නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලක්සිරි වික්‍රමගේ මහතා පැවසීය.
“සිග්නල් සන්නාමයේ අරමුණ වන්නේ සෑම විටම ශ්‍රී ලාංකිකයන්ගේ සිනහව සුරැකීමයි. මෙවර ලෝක ළමා දිනයේදී දරුවන්ට සදානුස්මරණීය අත්දැකීමක් තිළිණ කිරීම සඳහා දෙරණ සහ ශ්‍රීලංකන් ගුවන් සේවය සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. එමගින් මේ දරුවන්ට අනාගත සුභ සිහින දකිමින් වඩාත් දීප්තිමත් සිනහවකට උරුමකම් කීමට හැකි වේවි.” සිග්නල් සන්නාම කළමනාකරු ට්‍රෙෂාන් ද සොයිසා මහතා පැවසීය.
IdeaHell සංකල්පයකට අනුව දෙරණ සහ යුනිලීවර් විසින් සංවිධානය කරන ලද මෙම සුවිශේෂී වැඩසටහනට දායක වෙමින්, රටේ දක්ෂ දරුවන් පිරිසකගේ අනාගත සිහිනවලට පණ පොවන සදාතනික මතක එකතුවක් ඔවුන් වෙත තිළිණ කිරීමට හැකි වීම පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවය හදවතින්ම සතුටු වෙයි.






Video Story