වඩාත් ආරක්ෂිත සහ ස්මාර්ට් ලෝකයක් සඳහා ඩීමෝ සමඟින් AXIS කමියුනිකේෂන් එක් වේ

    January, 2, 2020

    ඩීමෝ විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම IP ආරක්ෂක විසඳුම් සේවා සපයන්නන් වන  AXIS කමියුනිකේෂන්, සිටිලොග් සහ ජෙනටෙක් හා එක්ව සංවිධානය කරන ලද  තාක්ෂණික වැඩමුළුවක් "ස්මාර්ට් නගර සහ ස්මාර්ට් ප්‍රවාහනය සඳහා ඒකාබද්ධ ආරක්ෂක විසඳුම්" (Integrated security solutions for smart cities & smart transportation) යන තේමාව යටතේ පසුගියදා පැවැත්විණ. කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලේදි පැවැත්වුණු මෙම වැඩමුළුව ප්‍රධාන වශයෙන්  ප්‍රවාහන ක්ෂේත්‍රයේ තීරණ සම්පාදකයින්, ඉදිකිරීම් කර්මාන්තය සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ඉලක්ක කරගනිමින් සංවිධානය කර තිබුණි.

    මෙම වැඩමුළුවේ හි ප්‍රධාන පරමාර්ථය වුයේ වඩාත් නිවැරදි සහ එලදායී තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන  IP ආරක්ෂණ තාක්ෂණයන් සහ ඩීමෝ විසින් සිය හවුල්කරුවන් හා එක්ව වෙළදපලට ඉදිරිපත් කරන ඒ හා සම්බන්ධ විසඳුම් පිළිබඳ රැස්ව සිටි පාර්ශවයන් දැනුවත් කිරීමයි.

    මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් ආරම්භක දේශනය සිදු කල ඩීමෝ සමුහයේ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා මෙසේ පවසා සිටියේය. " ඩීමෝ විසින් රටෙහි ඉදිකිරීම් හා ප්‍රවාහන කර්මාන්තවලට නව ජීවයක් ලබා දිය හැකි විශිෂ්ට ගණයේ   සන්නාමයන් රැසක් හඳුන්වා දී ඇති අතර ඉදිරියේදී තවත් සේවා රැසක් හඳුන්වාදීමට බලාපොරොත්තුවෙන් පසුවේ.  ඩීමෝ සහ AXIS කමියුනිකේෂන් අතර දශකයක කාලයක් පුරාවට පැවති හවුල්කාරිත්වය තුළින් ශ්‍රී ලාංකීය වෙළදපලට තාක්ෂණිකමය වශයෙන් උසස් IP ආරක්ෂණ විසඳුම් හඳුන්වා දීමට හැකි වීම පිළිබඳ සතුටට පත් වනවා".

    ඩීමෝ හි අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා රජය වර්තමානයේ මහා පරිමාණ නාගර හා ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘති රැසක නිරතවෙමින් සිටින හෙයින් රථවාහන තදබදය අවම කිරීම සඳහා භාවිතා කල හැකි ගෝලීය මට්ටමේ තාක්‍ෂණික විසඳුම් පිළිබඳව එම ව්‍යාපෘතීන්හි තීරණ සම්පාදකයින් දැනුවත්ව සිටීම වැදගත් බවයි.

    මෙම වැඩමුළුවේ තාක්ෂණික පුහුණු සැසි මෙහෙයවනු ලැබුවේ AXIS කමියුනිකේෂන්ස් හි  ඉන්දියානු සහ SAARC කලාපීය ජාතික විකුණුම් කළමණාකරු ජෝස් තෝමස්, ඉන්දියානු සහ SAARC කලාපීය ජ්‍යෙෂ්ඨ විකුණුම් ඉංජිනේරු ගිතිෂ් මැතිව්, සිටිලොග් හි දකුණු ආසියානු පැසිෆික් කලාපයේ ව්‍යපාර සංවර්ධන කළමනාකරු මෙල්වින් ටේ හා  ජෙනටෙක් හි ඉන්දියානු සහ SAARC කලාපය සඳහා කළමණාකරු ආනන්ද් තිරුනගාරී යන මහත්වරු විසිනි. මෙම වැඩමුළු සඳහා  රජයේ බලධාරීන් විශාල සංඛ්‍යාවකගේ  ආකර්ෂණයක් දැක ගත හැකි වූ අතර  සහභාගී වූවන්ට ඩීමෝ සහ එහි හවුල්කරුවන් විසින් පිරිනමන ඩිජිටල් විසඳුම් ක්‍රියාකරවීම හා සම්බන්ධ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව හිමි විණ.

    ඩීමෝ සහ Axis ඒකාබද්ධව ශ්‍රී ලංකාව තුල විශාල ප්‍රමාණයේ සාර්ථක ව්‍යාපෘති රැසක් දියත් කර තිබෙන අතර, ඒ අතුරින් AVIC ඇස්ටෝරියා, මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය, ශ්‍රී ලංකා රේගු ප්‍රධාන කාර්යාලය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළහි විශේෂ අමුත්තන්ගේ පර්යන්තය සහ කැලණිතිස්ස  බලාගාරය ආශ්‍රිත බලගැන්වීම් සුවිශේෂී වේ.