වයිබර් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ම ඩිජිටල් කේන්දරයක් හඳුන්වාදෙයි

    November, 2, 2020

    දිනපතා නොමිලයේ ම කේන්දරය කියවාගන්න

    ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, ශ්‍රී ලංකාව තුළ පළමු වරට තම Horoscope Chatbot විශේෂාංගය පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. මේ නවතම විශේෂාංගය හරහා ග්‍රහ තාරකා ආදිය හරහා තම ජීවිතවලට එල්ලවන සැඟවුණු බලපෑම අවබෝධ කරගැනීමටත්, තම පෞරුෂයට අනුව එදිනෙදා හා සතිපතා ජ්‍යොතිෂ අනාවැකි ලබාගැනීමටත් අවකාශ උදා වේ.

    මෙහි තවත් විශේෂත්වයක් වන්නේ කිසිදු මුදල් ගෙවීමකින් තොරව නොමිලයේ ම ජ්‍යොතිෂ අනාවැකි ලබාගැනීමට අවස්ථාව උදාවීමයි. එමෙන්ම සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් තම කේන්දර අනාවැකි ලබාගැනීමට ද හැකි වේ.

    ශ්‍රී ලාංකිකයින් හා ජ්‍යොතිෂවේදයත්, කේන්දර අනාවැකි කීමත් අතර ඇත්තේ දැඩි බැඳියාවකි. උපතේදී සකසනු ලබන කේන්දරය, තම ජීවිතයේ තීරණාත්මක අවස්ථාවන්දී පරීක්ෂා කරබැලීම ශ්‍රී ලාංකිකයින්ගේ සිරිතකි. විශේෂයෙන් ම විවාහය, නව රැකියාවකට යාම හෝ සුබ නැකැත් ආදිය සඳහා කේන්දරය පරීක්ෂා කරගැනීම බොහෝ විට දක්නට ලැබේ.

    එවන් පසුබිමක වයිබර් හඳුන්වාදෙන මෙම නව විශේෂාංගය, ලග්න 12ට අදාළ ජ්‍යොතිෂ කියවීම් සහිතව දිනපතා සහ සතිපතා අනාවැකි ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරයි. නිදසුන් ලෙස, තම දෛනික වැඩකටයුතු කෙසේ වේද, නිවසේ සිටින සමීපතමයින් සමඟ ඇති සබඳතාවන් කෙසේ වේ ද, රැකියාවේ කටයුතු කෙසේ වේද ආදී බොහෝ අනාවැකි මෙමගින් ලබාගත හැක. ඔබ වයිබර් custom sticker pack ඩවුන්ලෝඩ් කරන විටදී horoscope chatbot විශේෂාංගය ද ලබාගත හැකි අතර එමගින් ඔබේ චැට් සංවාද අතරතුර විශාල විනෝදයක් ලැබීමට ද හැකිවනු ඇත.

    මෙම සුවිශේෂී විශේෂාංගය පිළිබඳ අදහස් දක්වමින් රකුටෙන් වයිබර් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඔෆිර් එයාල් මහතා මෙසේ පැවසීය, “ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් සිටින වයිබර් පරිශීලකයින්ට ඔවුන්ගේ ආකර්ෂණය දිනාගන්නා විශේෂාංග හඳුන්වාදීම අපේ අරමුණයි. මෙම Horoscope Chatbot විශේෂාංගය හඳුන්වාදීමට අපි තීරණය කළෙත් ඒ අනුවයි. ඒ හරහා ජ්‍යොතිෂ අනාවැකිවලට අමතරව විනෝදයක් හා සතුටක් ලැබීමටත් ඔවුන්ට හැකිවෙනවා”.

    මෙය ශ්‍රී ලංකාවේ සිටින වයිබර් පරිශීලකයින් වෙනුවෙන් ඉදිරිපත් කරන අලුත්ම තාක්ෂණික විශේෂාංගය වන අතර මේ වන විටත් 132,000ක පරිශීලක පිරිසක් ඒ වටා එක්වී සිටී. ජ්‍යොතිෂවේදය හා තම දෛනික ජීවිතයට ඉන් ලැබෙන බලපෑම පිළිබඳ විමසිලිමත් වන ශ්‍රී ලාංකිකයින් මෙම නව විශේෂාංගය ආදරයෙන් වැළඳගනු ඇති බව වයිබර් අපේක්ෂාවයි.