වරායේ ණය ගැනීම් ඉහළට. මෙන්න! ඉදිරි සැලසුම්

    June, 2, 2014

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උපාය මාර්ගික සැලැස්මට අනුව වරාය ආශ්‍රිත ආයෝජන ඩොලර් බිලියන 10 ක් දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කර තිබෙන අතර වැඩිවන ඉල්ලුම සපුරා ලීමට දක්ෂතා ඇති වෘත්තීයවේදීන් පිරිසක් ඇතිකර ගැනීමටත් අපේක්ෂා කර ඇත.

    මීට අමතරව, මෙම සැලසුම් වලට අනුව අපේක්ෂා කරන්නේ ටොන් මිලියන 200 ක සෘජු නාවික භාණ්ඩ හැසිරවීමටත් වරායේ ආදායම ඩොලර් බිලියනයකට වඩා වැඩි කිරීමටයි.

    කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ පර්යන්ත තුනක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර මින් පළමු වැන්න පසුගිය අගෝස්තු මාසයේදී විවෘත කරන ලදී.

    මෙම බහාලුම් පර්යන්තය චයිනා මර්චන්ට් ලිමිටඩ් සමාගමේ සියයට 85 ක සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියයට 15 ක ආයෝජනයෙන් ඉදිකළේය.

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ කොළඹ වරායේ යටිතල පහසුකම් වර්ධනය කිරීම නිසා ගිය වසරේදී ප්‍රධාන නාවික සේවා (Line Services) 09 ක් ගෙන්වා ගැනීමට සමත් වූ බවයි.

    කෙසේවෙතත්, 2013 වසර අවසන් වනවිට වරාය අධිකාරියේ විදේශ ණය ගැනීම් සියයට 33 කින් රුපියල් බිලියන 188 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර විදේශීය ණය ගැනීම් මත ගෙවන පොලිය සියයට 155 කින් රුපියල් බිලියන 5.75 ක් දක්වා වර්ධනය වී ඇත. මීට අමතරව, දේශීය ණය රුපියල් බිලියන 7.2 ක් දක්වා සියයට 32 කින් වර්ධනය වී තිබේ.

    මේ නිසා, මෙම වියදම් පියවා ගැනීම සඳහා වරාය අධිකාරියේ ආදායම් ඉදිරියේදී වැඩිකර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවකි.