වරාය නගරයේ ඉදිකිරීම්වලට අදාළව සංශෝධනය වූ නීති පාර්ලිමේන්තු අනුමැතියට

    February, 10, 2026

    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත ප්‍රකාරව වරාය නගරය තුළ ඇති ගොඩනැගිලි සහ ව්‍යුහයන්ගේ ලක්ෂණ නියාමනය කිරීම සඳහා 2023 අංක 1 දරන කොළඹ වරාය නගරය (සංවර්ධන පාලන) නියෝග 2023-06-02 දින ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

    එකී නියෝග මීට පෙර 2023-11-17 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් සංශෝධනය කරනු ලැබ තිබේ.

    මූලික වශයෙන් වෙරළ අවකාශය ඇතුළු භූමි ප්‍රදේශවලට ගැළපීම්, සිරස් සංවර්ධනය සදහා අවසර දී ඇති උපරිම උස ඉහළ නැංවීම සහ භාවිතයන් පිළිබඳ න්‍යාසයේ වර්ගීකරණය සම්බන්ධයෙන් එකී නියෝග තවදුරටත් සංශෝධනය කළ යුතු බවට කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව 2025-12-29 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් එම නියෝග සංශෝධනය කිරීමට පියවර ගනු ලැබ ඇත.

    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 71(4) වගන්තියේ විධිවිධාන පරිදි එකී සංශෝධිත නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.