March, 25, 2026
මෙරට උද්ධමනය 5% මට්ටමට පැමිණීම මෙම වසරේ තෙවන කාර්තුවේ දී සිදුවෙතැයි ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර පුරෝකථනය කළ ද, පවතින තත්ත්වය තුළ වසරේ දෙවන කාර්තුවේ දී 5% මට්ටම කරා උද්ධමනය පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
2026 වසරේ දෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහ බැංකු අධිපතිවරයා,
“උද්ධමනය පැත්තෙන් බැලුවාම, අපේ උද්ධමන ඉලක්කය 5% මට්ටමේ පවත්වා ගෙන යන්නේ. මීට කලින් අපි බලාපොරොත්තු වුණේ 5% මට්ටමට මේ වසරේ තුන්වන කාර්තුවේ දී ළඟාවෙයි කියලා. නමුත් දැන් බලශක්ති මිල ගණන්වල මිල වැඩිවීම නිසා ඒක දෙවෙනි කාර්තුවේ දී සාමාන්‍යයක් විදියට ඒ මට්ටමට යයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි මෙතෙක් කල් උද්ධමනය 5% මට්ටමට වඩා විශාල වශයෙන් අඩුවෙන් පවත්වා ගෙන යාම නිසා, අපට යම්කිසි ආකාරයක හොඳ අවකාශයක් නිර්මාණය වෙලා තිබුණා, උද්ධමනය 5% මට්ටමේ තියා ගන්න මේ වගේ කම්පනයක් ඇති වුණත්. ඒක මම හිතන්නේ ධනාත්මක දෙයක් ඉදිරියට යන කොට.“
මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
"භූ දේශපාලනික අර්බුද තීව්‍ර වීමත් සමඟ උද්ගත වූ දැඩි අස්ථාවරත්වය මධ්‍යයේ ගෝලීය බලශක්ති මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑම සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලට ඇති වූ අවහිරතා හේතුවෙන් දේශීය බලශක්ති මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට සිදුවිය. උද්ධමනය ඉලක්කගත මට්ටම වන 5%ට සාපේක්ෂව, පෙබරවාරි මාසයේ දී 1.6%ක් ලෙස (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) දැනට පහළ මට්ටමක පවතින බැවින්, බලශක්ති මිල ගණන් ඉහළ යෑම සහ එමගින් උද්ධමනය කෙරෙහි එල්ල කරන වක්‍ර බලපෑම් සඳහා මුහුණ දීමට ප්‍රමාණවත් අවකාශයක් පවතී. පවතින නවතම දත්ත සහ අවිනිශ්චිතතා සැලකිල්ලට ගත් විට, උද්ධමනය අපේක්ෂාකළ කාලයට පෙර, එනම් 2026 වසරේ දෙවන කාර්තුව වන විට ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරයි. ඉන් අනතුරුව එය ඉලක්කගත මට්ටම වටා ස්ථායීව පවතිනු ඇතැයි පුරෝකථනය කෙරේ.“
Video Story