වසරේ පළමු මාස නමයේ කොමර්ෂල් බැංකුවේ බදුවලට පසු ලාභය රුපියල් බිලියන 10 ඉක්මවයි

    November, 17, 2016

    2016 තුන්වන කාර්තුවේ සහ සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස නමයක කාලයේ මූල්‍ය ප‍්‍රතිඵල මගින් ශක්තිමත් වර්ධනයක් ලබාගනිමින් මෙරට මූල්‍ය අංශයේ ඉහළ කාර්ය සාධනයක් තිබෙන ආයතනයක් ලෙස තමන් සතු ශක්තිය කොමර්ෂල් බැංකුව විසින් යළිත් සනාථ කර තිබේ.

    ශ‍්‍රී ලංකාවේ පුද්ගලික බැංකු අංශයේ මිණුම් ලකුණක් ලෙසින් සැලකෙන කොමර්ෂල් බැංකුව විසින් 2016 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස 09 කාලය තුළදී වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 16.398 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර මෙය 15.19% ක වර්ධනයක් ලෙස කැපී පෙනෙන්නේ පොලී අනුපාත වැඩිවීම සහ පොලී අන්තරයන් අඩුවීම යන සාධක බලපෑ සමයකදී මෙම ලාභය වාර්තා කිරීමයි.

    බැංකුව විසින් කොළඹ කොටස් වෙළඳපොළට දැනුම් දී තිබෙන්නේ සලකා බලන මාස නමයක කාල සීමාව තුළදී බැංකුවේ දළ ආදායම 17.94% කින් රුපියල් බිලියන 66.868 ක් දක්වා පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව වර්ධනය වී තිබෙන බවයි. මේ අතර, බදු වලට පෙර ලාභය 13.92% කින් රුපියල් බිලියන 13.887 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර බදු වලට පසු ලාභයද අදාළ කාලයේදී රුපියල් බිලියන 10.151 ක් ලෙස 20.48% කින් ශක්තිමත්ව වර්ධනය වූ බව බැංකුව සඳහන් කරයි.

    බැංකුවේ ණය පොතේ අඛණ්ඩ වර්ධනය සමඟ සමස්ත පොලී ආදායම මෙම කාලයේදී රුපියල් බිලියන 9.587 කින් හෙවත් 19.72% කින් රුපියල් බිලියන 58.191 ක් දක්වා වර්ධනය වූ බව බැංකුව පවසයි. පොලී අනුපාත ඉහළ යාමෙන් පසුව වගකීම් නැවත මිල කිරීම හේතුවෙන් පොලී වියදම 29.49% ක ඉහළ අනුපාතයකින් ඉහළ ගොස් රුපියල් බිලියන 33.936 ක් වීම ශුද්ධ පොලී ආදායම 8.29% කින් රුපියල් බිලියන 24.255 ක් දක්වා වර්ධනය වීමට හේතුවී තිබේ.

    ‘‘පවතින ඉහළ පොලී අනුපාත තත්ත්වය හමුවේ වුවත් බැංකුව පළමු මාස නමය තුළදී ඉහළ කාර්ය සාධනයක් පෙන්වා තිබෙනවාල’’ යනුවෙන් මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා සඳහන් කළේය. ‘‘වසරේ තුන්වන කාර්තුවේදී ඉහළම මාස තුනක වර්ධනය ලබාගැනීමට බැංකුව සමත් වුණා. 2016 වසර ඉතාමත් ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයකින් යුක්තව අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.’’

    කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා සඳහන් කළේ සලකා බලන කාල සීමාවේදී ණය කළඹේ ගුණාත්මක භාවය අඛණ්ඩවම වර්ධනය කරගන්නා අතරම හානි පූරණ ගාස්තු කැපී පෙනෙන ලෙස අඩුකර ගනිමින් බැංකුව කැපී පෙනෙන වර්ධනයක් ලබාගැනීමට සමත්ව තිබෙන බවයි. ‘‘අප වර්ධනය වෙමින් විදේශ මෙහෙයුම් පුළුල් කරන අතරම අඛණ්ඩවම ප‍්‍රධාන මෙහෙයුම් දර්ශකාංක කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා. වෙනස් වන තත්ත්වයන්ට බැංකුව හොඳින් මුහුණ දෙන ආකාරය මෙමගින් සහතික කරනවාල’’ යනුවෙන් ඔහු සඳහන් කළේය.

    2015 දෙසැම්බර් මාසයේ සිට 2016 සැප්තැම්බර් 30 වනදා වනවිට බැංකුව සතු සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 73.493 කින් හෙවත් 8.35% කින් රුපියල් බිලියන 953.299 ක් දක්වා වර්ධනය වී ඇත. මේ මගින් පිළිඹිබු වන්නේ මසකට රුපියල් බිලියන 8.166 ක සාමාන්‍යයක වත්කම් වර්ධනයක් සිදුව තිබෙන බවයි.

    2015 දෙසැම්බර් මාසයේ සිට මාස නමයක කාලය තුළදී ගනුදෙනුකරුවන් වෙත හිමිවූ ණය සහ ලැබීම් රුපියල් බිලියන 66.356 කින් හෙවත් 13.06% කින් රුපියල් බිලියන 574.471 ක් දක්වා වර්ධනය වූ අතර මෙහිදී මාසයකට රුපියල් බිලියන 7.373 ක සාමාන්‍ය අගයක් ගෙන ඇත. 2015 සැප්තැම්බර් මාසයේ සිට බැංකුවේ ණය පොත රුපියල් බිලියන 92.548 කින් වර්ධනය තිබෙන අතර වසරින් වසර සැසඳීමේදී එය 19.20% ක ඉහළ යාමකි.

    2016 තුන්වන කාර්තුවෙන් අවසන් වන සලකා බලන මාස නමය තුළදී සමස්ත තැන්පතු සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 9.6 ක ඉහළ මට්ටකින් රුපියල් බිලියන 710.458 ක් දක්වා වර්ධනය ඇති අතර එය 13.84% ක වර්ධනයකි. බැංකුවේ තැන්පතු පදනමේ වර්ධනය වාර්ෂිකව සැසඳීමේදී 20.64% කින් ඉහළ මට්ටමකින් වර්ධනය වී තිබෙන්නේ 2015 සැප්තැම්බර් 30 වනදා සිට රුපියල් බිලියන 121.540 ක ප‍්‍රමාණයකින් හෙවත් මාසයකට රුපියල් බිලියන 10 කට වැඩි ප‍්‍රමාණයකිනි.

    බැංකුව විසින් සිය සමස්ත හානි පූර්ණ ගාස්තු මීට වසරකට පෙර තිබූ රුපියල් බිලියන 3.115 ක මට්ටමේ සිට රුපියල් බිලියන 1.804 ක් දක්වා 42.10% ක විශාල ප‍්‍රමාණයකින් අඩුකර ගැනීමට සමත්ව තිබෙන අතර එයට හේතුවී තිබෙන්නේ සලකා බලන කාලයේදී ණය පොතේ කැපී පෙනෙන ගුණාත්මක භාවයක් වර්ධනය කර ගැනීමයි.

    මේ අතර, බැංකුවේ ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 30.198 ක් දක්වා 13.04% කින්් වර්ධනය වී තිබෙන්නේ සමස්ත මෙහෙයුම් වියදම් 10.58% කින් රුපියල් බිලියන 13.8 ක් දක්වා වර්ධනය වී තිබෙද්දීයි. එසේම, ශුද්ධ කොමිස් ආදායම 25.21% කින් වර්ධනය වී රුපියල් බිලියන 4.767 ක්වී ඇත.

    අනිකුත් ප‍්‍රධාන කාර්ය සාධක දර්ශක සලකා බැලීමේදී සලකා බලන මාස නමයක කාලයේදී බැංකුවේ කොටසකට අදාළ ලාභය 18.61% කින් වර්ධනය වී රුපියල් 11.41 ක්වූ බව බැංකුව සඳහන් කරයි. මේ අතර, සලකා බලන කාලය අවසානයේදී කොටසකට අදාළ බැංකුවේ ශුද්ධ වත්කම් ප‍්‍රමාණය රුපියල් 85.11 ක්වී තිබෙන අතර එය 2015 දෙසැම්බර් 31 වනදා සිට රුපියල් 4.89 ක හෙවත් 6.10% ක වර්ධනයකි. 2016 සැප්තැම්බර් මාසය අවසන් වනවිට බැංකුවේ පළමු පෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය 11.40% ක් ලෙසත් පළමු පෙළ සහ දෙවන පෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය 14.80% ක් ලෙසත් පැවතුණු අතර මෙම අනුපාත දෙකම බාසල් 02 මාර්ගෝපදේශ යටතේ පැවතිය යුතු අවම ව්‍යවස්ථාපිත නියාමන අවශ්‍යතාවයන් වන පිලිවෙලින් 5% සහ 10% ඉක්මවා තිබේ. එසේම, 2017 ජනවාරි 01 වනදා සිට ක‍්‍රියාත්මක වන බාසල් 03 මාර්ගෝපදේශ යටතේ පැවතිය යුතු අවම ව්‍යවස්ථාපිත නියාමන අවශ්‍යතාවයන් වන පිලිවෙලින් 6.25% සහ 11.75% මට්ටම්ද මෙහිදී බැංකුව විසින් ඉක්මවා තිබීම කැපී පෙනෙන කාරණයකි.

    මේ අතර, බැංකුවේ දළ සහ ශුද්ධ අක‍්‍රීය ණය NPL අනුපාතයන් පිළිවෙලින් 2015 අවසානයේ තිබූ 2.74% ක සහ 1.41% ක මට්ටමක සිට 2.49% ක් සහ 1.26% ක් දක්වා දියුණු වී තිබේ. පසුගිය වසරේ අවසාන කාර්තුවේදී මෙම අනුපාතයන් 3.01% ක් සහ 1.52% ක් ලෙස පැවතුණි.

    බැංකුවේ පොලී ආන්තිකයන් මෙම මාස නමය අවසානයේදී 3.53% කින් අඩුවී තිබෙන අතර එයට හේතුවී තිබෙන්නේ අරමුදල්වල පිරිවැය වැඩිවීමයි. මේ අතර, බැංකුවේ බදු වලට පෙර වත්කම් වලට අදාළ ප‍්‍රතිලාභය RoA පසුගිය වසරේ අදාළ මාස නමය තුළ තිබූ 1.95% ක සිට 2.02% ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අතර, කොටස් වලට අදාළ ප‍්‍රතිලාභ RoE පසුගිය වසරේ තුන්වන කාර්තුව අවසානයේ තිබූ 15.97% ක සහ පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසානයේදී තිබූ 16.90% ක ප‍්‍රමාණයේ සිට 2016 සැප්තැම්බර් මාසය අවසන් වනවිට 18.56% ක් දක්වා වර්ධනය වී තිබේ.

    සමූහයක් ලෙස කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් 2016 සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස 09 ක කාල සීමාව තුළදී රුපියල් බිලියන 14.006 ක බදු වලට පෙර ලාභයක් වාර්තා කර තිබෙන අතර එය 14.48% ක වර්ධනයකි. මෙම කාල සීමාව තුළදී සමූහයේ බදු වලට පසු ලාභය 20.87% කින් වර්ධනය වී රුපියල් බිලියන 10.195 ක්වී තිබේ.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 251 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 640 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ 2016 වසරේ සැප්තැම්බර් මාසයේ මාලදිවයින තුළ ආරම්භ කළ පළමු පෙළ බැංකුව පවත්වාගෙන යයි. මේ අතර, සම්පූර්ණ හිමිකාරීත්වය සහිත මුදල් හුවමාරු මෙහෙයුම් කටයුතු ඉතාලියේ සිදුකිරීමට බැංකුවට මෑතකදී බලපත‍්‍රයක් හිමිවිය.