වසර 3 කට පසු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% ඉක්මවයි

    March, 2, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී, දින 364 කල්පිරීමේ කාලයෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස දින 364 බිල් පත් පොළිය 9% සීමාව කරා ගියේ 2013.12.13 දිනෙන් පසුව වීම මෙහි ඇති විශේෂත්වයයි.

    අද වෙන්දේසියේ දී දින 91 බිල්පත් පොළිය 7.14% සිට 7.68% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 8.07% සිට 8.49% දක්වා ද, දින 364 බිල්පත් පොළිය 8.50% සිට 9.00% දක්වා ද ඉහළ ගොස් තිබේ.

    අප කළ විමසීමක දී ප්‍රාථමික නිකුතු ආයතනයක නියෝජිතයෙකු කියා සිටියේ අවසාන වරට පැවති මූල්‍ය ප්‍රතිපත්ති විවරණයේ දී මහ බැංකු ප්‍රති මිල දී ගැනුම් අනුපාතිකය 6.5% හා ප්‍රති විකුණුම් අනුපාතිකය 8.0% දක්වා ඉහළ දැමීම ත්, පසුගිය ජනවාරි 16 වනදා සිට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 7.5% දක්වා ඉහළ නැංවීමත් මේ සම්බන්ධයෙන් බලපෑමක් එල්ල කරනු ලබන බවයි. තව ද ෆිච් රේටිංග්ස් ණය වර්ගීකරණයේ දී ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහළ යාම ද මෙයාකාරයෙන් පොළී අනුපාතික ඉහළ යාම කෙරෙහි බලපාන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    අද වෙන්දේසියේ දී රුපියල් මිලියන 26,656 ක ලංසු අනුමත කිරීමට පියවර ගෙන තිබුණු අතර පහත දැක්වෙන්නේ අද වෙන්දේසියට ලංසු ඉදිරිපත් වූ ආකාරය සහ ඒවා අනුමත කළ ආකාරයයි.