වාහන ආනයනයට සැලසුම් කළාට වඩා ඩොලර් වැයවෙලා

    October, 24, 2025

    මෙම වසරේ දී වාහන ආනයනය සඳහා ඩොලර් බිලියන 1.5ක් පමණ වැය වනු ඇති බවත්, එය වසර ආරම්භයේ දී සැලසුම් කරන ලද ඩොලර් බිලියන 1.2 මට්ටමට වඩා ඉහළ අගයක් වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (23) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    “මේ අවුරුද්දේ වාහන ආනයන වියදම අපි අපේක්ෂා කළ මට්ටමට වඩා තරමක් ඉහළ ගොස් තිබෙනවා. මේ වසරේ දී රථ වාහන ආනයනය සඳහා ඩොලර් බිලියන 1.2ක පමණ විදේශ විනිමයක් වැය වනු ඇති බවට අප මුලින් පුරෝකථනය කළා. එය බොහෝ විට මේ අවුරුද්ද අවසාන වන විට ඩොලර් බිලියන 1.5ක් පමණ වේවි.“

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී, මෙරටට වාහන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,007.5ක වියදමක් දරා ඇති බව වාර්තා වේ.

    මෙහිදී මෙම වසරේ තනි මාසයක් තුළ සිදුකළ වැඩිම වාහන ආනයන වියදම 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වන අතර එය ඩොලර් මිලියන 255.7ක් වේ.

    2025 වසරේ මේ දක්වා එක් එක් මාසය තුළ දී මෙරටට වාහන ආනයනය සඳහා දරා ඇති වියදම පහතින් දැක්වේ.

    (ඩොලර් මිලියන වලිනි)

    ජනවාරි  - 29.1

    පෙබරවාරි - 22.3

    මාර්තු - 54.0

    අප්‍රේල් - 145.6

    මැයි - 125.2

    ජූනි - 169.6

    ජූලි - 206.0

    අගෝස්තු - 255.7