November, 23, 2015
මුදල් ඇමතිවරයා 2016 වසර සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් කර දිනක් ගතවීමටත් මත්තෙන් වාහන මිල වැඩි වී ඇතැයි වාර්තා වේ. දැනට වෙළෙඳපොළේ පවතින පාවිච්චි කළ මෝටර් රථ හා විකුණුම් අංගනවල තිබෙන වාහන මෙලෙස මිල ඉහළ යාමට ලක්ව ඇත.
විශේෂයෙන් විද්‍යුත් මෝටර් රථවල මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව විශාල වශයෙන් මිල වැඩි වී තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති විවිධ ශ්‍රේණීන්වලට අයත් පාවිච්චි කළ නිසාන් ලීෆ් කාර් රථ ලක්ෂ 5 සිට 10 දක්වා මිල ගණන්වලින් ඉහළ ගොස් ඇත.
මේ අතර රජය 2016 අයවැය යෝජනා තුළින් ඉලෙක්ට්‍රික් කාර් රථවල ආනයනික බදු ඉහළ දැමීමට රජය කටයුතු කළේ දීර්ඝ කාලීන සැලසුමක් අනුව විය හැකි බව වාසනා ට්‍රේඩිං ලංකා ඔටෝමොබයිල්ස් ලංකා (පුද්) සමාගමේ අලෙවි කළමනාකරු ලෙනින් ප්‍රනාන්දු මහතා අද දෙරණ Biz සමඟ පැවසීය. පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව පුරා ඉලෙක්ට්‍රික් කාර්රථ ආරෝපණ මධ්‍යස්ථාන 100 ක් ස්ථාපිත කිරීමට පියවර ගනු ලැබුවේ මෙම සමාගම විසිනි. එසේම එසේම මෙම සමාගම ඉලෙක්ට්‍රික් කාර් රථ ඇතුළු මෝටර් රථ අලෙවියේ යෙදෙන මෙරට ප්‍රමුඛ පෙළේ ආයතනයකි.
යම් හෙයිකින් ඉලෙක්ට්‍රික් කාර් රථ හිමියෙකු සිය නිවසට සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපිත කර ගැනීම හරහා තම නිවසේ විදුලිබල අවශ්‍යතා හා කාර් රථයේ බැටරිය ආරෝපණය කර ගැනීමට සිදුකරන්නේ නම් ජාතික ආර්ථිකයට ඔහුගෙන් කිසිදු දායකත්වයක් සිදුනොවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එවැනි වාතාවරණයක් තුළ රජය විසින් ගනු ලැබූ මෙවැනි තීරණයක සෘණාත්මක පැත්ත දෙස පමණක් අවධානය යොමු කිරීම සාධාරණ නොවන බව ඔහුගේ අදහසයි.
කෙසේ වෙතත් නව අයවැය යෝජනා අනුව මෙරට දැනට ජනප්‍රිය ඉලෙක්ට්‍රික් කාර් රථ මාදිලිය වන නිසාන් ලීෆ් රථයක මිල රුපියල් ලක්ෂ 25 කින් පමණ ඉහළ යා හැකි බව පැවසූ ඔහු, මෙම බදු බර හැකිතාක් දුරට පාරිභෝගිකයා වෙත විතැන් වීම අවම කිරීමට පියවර ගන්නා බැව් පැවසීය.
Video Story