වැට් ගැහුවත් දුරකතන ගාස්තු වැඩි වෙන්නේ නැහැ – ටෙලිකොම් සභාපති කියයි

    March, 23, 2016

    රජයේ යෝජිත නව බදු සංශෝධනවලට අනුව දුරකතන ගාස්තුවල වැඩිවීමක් සිදුනොවන බව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා පැවසීය. මේ වන තෙක් මුදල් අමාත්‍යාංශය හෝ රජය විසින් ඒ පිළිබඳ නිල දැනුම් දීමක් සිදුකර නැති බව ද සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. ඒ මහතා මේ බව සඳහන් කළේ 2016 අප්‍රේල් 01 වැනිදා සිට නව බදු සංශෝධනවලට අනුව දුරකතන ගාස්තුවල ඉහළ යාමක් සිදුවන්නේ දැයි අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා මෙසේ කියා සිටියේය. “නව බදු සංශෝධනය තුළින් 15% වැට් බද්ද දුරකතන ගාස්තු සඳහා ඇතුළත් වෙනවාද නැද්ද කියලා මෙතෙක් නිල වශයෙන් දැනුම් දීලා නැහැ. යම් විදියකින් එය ඇතුළත් වුණොත් දැනට තිබෙන 31% බද්දට අමතරව ලොකු මුදලක් ගෙවන්න ඉඩකඩ තියෙනවා. නමුත් මේ බදු දෙකම ක්‍රියාත්මක කරන්න හේතුවක් නැහැ. ක්‍රියාත්මක වෙනවා නම් එයින් එක බද්දක් පමණයි ඇතුළත් වෙන්න ඕනේ“.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයා මෙසේ පැවසීය. “මේ තුළින් දුරකතන ගාස්තු ඉහළ යන බවට විවිධ මත පළ වෙනවා. කෙසේ වෙතත් ජනතාවට සහන දිය හැකි ආකාර ගණනාවක් පිළිබඳ අප අධ්‍යයනය කරමින් සිටිනවා. නව බදු සංශෝධනය ක්‍රියාත්මක වුවත් වර්තමාන දුරකතන ගාස්තුවල වෙනසක් වේ යැයි මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.“