July, 11, 2016
සංශෝධනය කරන ලද වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු නියෝගය වහාම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
අග විනිසුරු කේ. ශ්‍රී පවන් හා බුවනෙක අලුවිහාරේ සහ ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අදාළ බදු සංශෝධන සිදුකිරීම පිළිගත නොහැකි බව සඳහන් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙන බව දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙම නියෝගය හේතුවෙන් රජයේ ආදායමට සැලකිය යුතු බලපෑමක් එල්ලවේ යැයි බලාපොරොත්තු නොවන බවයි.
සියයට 11ක්ව පැවැති වැට් බද්ද සියයට 15 දක්වා වැඩිකිරීමට රජය පසුගියදා පියවර ගන්නා ලදී.