November, 7, 2025
කිසිදු වාණිජ, නියාමන හෝ පරිපාලන කටයුත්තක් සිදුනොවන ආයතන 33 ක් වසා දැමීමට කටයුතු ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 2026 අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසූ අතර, වාණිජ නොවන, පිහිටුවීමේ මුල් අරමුණෙන් අපගමනය වූ හා වර්තමාන සන්දර්භයට නොගැළපෙන ආයතන ද හඳුනාගෙන ඇති අතර ඒවා වසා දැමීමට ද සූදානම් කරන බව එහිදී අවධාරණය කර සිටියේය.
"අප රට ආර්ථික, සමාජයීය හා සංස්කෘතික ලෙස ඉදිරි ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය බව පිළිගන්නවා. එහෙත් වර්තමානයේ මහජන සේවා සම්පාදනය වෙනුවෙන් රාජ්‍ය සේවය සඳහා සාපේක්ෂව ඉහළ වැය බරක් දරනු ලබනවා. දේශපාලනීකරණය වුනු රාජ්‍ය බඳවා ගැනීම්, සිය කාර්යභාරය ඓතිහාසිකව අවසන් වූ ආයතන, එකම කාර්යයන් වෙනුවෙන් ගොඩ නඟා තිබෙන විවිධ ආයතන එයට ඉවහල් වී තිබෙනවා. අප රජය විසින් ලබා දිය යුතු අත්‍යවශ්‍ය සේවාවන් නිසි ඇගයීමකට ලක් කරමින් කාර්යභාරය අවසන් වූ රාජ්‍ය ආයතන වසා දැමීමටත්, එකම කාර්යය කරන විවිධ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමටත්, යල් පැනගිය අරමුණු නව අරමුණුවලට අනුව ප්‍රතිසංවිධානය කිරීමටත් කටයුතු කරනවා. එවැනි කිසිදු වාණිජ, නියාමන හෝ පරිපාලන කටයුත්තක් සිදුනොවන ආයතන 33 ක් වසා දැමීමට කටයුතු ආරම්භ කර තියෙනවා. තවද, වාණිජ නොවන, පිහිටුවීමේ මුල් අරමුණෙන් අපගමනය වූ හා වර්තමාන සන්දර්භයට නොගැළපෙන ආයතන ද හඳුනාගෙන ඇති අතර ඒවා වසා දැමීමට සූදානම් කරනවා.
ඉහත රාජ්‍ය ව්‍යසායයන් ජාතික ආර්ථිකයට හෝ සේවා සැපයීමට කිසිදු දායකත්වයක් නොමැති අතර, ඒවායේ මූල්‍ය වාර්තා සොයාගැනීම ඉතා අපහසු සේම නිරවුල් නොකරන ලද වගකීම්, හා වත්කම් හිමිකාරිත්වයේ පවතින නීතිමය ගැටළු නිසා මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුනේ නැහැ. මෙම ගැටළු විසඳමින් එම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය යටතේ ඒකකයක් දැනටමත් පිහිටුවා තිබෙනවා.
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ ලබා දී ඇති නිර්දේශ පදනම් කර ගනිමින් ආයතන 21 ක් එකම කාර්යයන් ඒකාබද්ධ වන ආකාරයෙන් ප්‍රතිසංවිධානය කිරීමටත්, පර්යේෂණ ක්ෂේත්‍රයේ ඇති ආයතන 14 ක් ඒකාබද්ධ කර ජාතික මට්ටමේ එක් ආයතනයක් පිහිටුවීමටත්, දැනට වාණිජ ආකෘතියක කටයුතු නොකරන ආයතන 9 ක් මූල්‍ය ස්වාධීනත්වයෙන් යුත් ආයතන ලෙස පරිවර්තනය කිරීමටත්, ආයතන 13 ක් ඒවා එවකට පිහිටුවීමේ අරමුණු වර්තමානයට අවශ්‍ය නොවීම මත ඈවර කිරීමටත් කටයුතු කරනු ලැබේ."
Video Story