විදාතා සම්පත් මධ්‍යස්ථාන ප්‍රතිව්‍යුහගතකිරීමේ උපායමාර්ගික සැලැස්ම මෙම වසර අවසන් වීමට පෙර

    August, 28, 2025

    විදාතා සම්පත් මධ්‍යස්ථාන ප්‍රතිව්‍යුහගත කිරීමේ උපායමාර්ගික සැලැස්ම මෙම වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.

    තව ද මෙරට  විශ්වවිද්‍යාල සමඟ සහයෝගයෙන් ප්‍රධාන  තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථාන (Technology Incubation Centre) තුනක් ස්ථාපිත කිරීමට සැළසුම්  කර ඇති  බවත්, රට පුරා විදාත සම්පත් මධ්‍යස්ථානවල කුඩා බීජෞෂණ මධ්‍යස්ථාන  25 ක් ද පිහිටුවීමට සැලසුම් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

    මේ පිළිබඳ  කරුණු සාකච්ජා වුයේ  විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

    මෙහිදී අදහස් දක්වමින් අමත්‍යවරයා විදාතා සම්පත් මධ්‍යස්ථාන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කර ඇති බවත්, විදාතා නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට සහ ඔවුන්ගේ කාර්ය සාධනය ඇගයීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය. කාර්ය නිසියාකාරව ඉටුකිරීමට කියාවක්  ලැබී නොමැති බව  කාරක සභා සාමාජිකයින් පෙන්වා දුන්හ. කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින්  මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා සුදුසු පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය. තවද විදාතා නිලධාරීන් හරහා පාසල් මට්ටමින් විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කරන බවත්, විදාතා මධ්‍යස්ථානය හරහා ග්‍රාමීය මට්ටමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා තාක්ෂණික සහාය ලබා දීමට පියවර ගන්නා බවත් ගරු අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්  පැවසීය.

    විවිධ කර්මාන්ත සඳහා තාක්ෂණික සහාය ලබාදීම සඳහා අදාළ අංශවල පුද්ගලයින් සහ විදාතා නිලධාරීන්ගෙන් සමන්විත කමිටු පිහිටුවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස  සාකච්ඡා විය. එමෙන්ම  අලි මිනිස් ගැටුමට තාක්ෂණික විසඳුම් සෙවීම පිළිබඳ අධ්‍යයනවල ප්‍රතිඵල අදාළ අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බව අමාත්‍යාංශය නිලධාරීහු පැවසුහ.

    මෙහිදී අදහස් දක්වමින් පාර්ලිම්න්තු මන්ත්‍රීවරයන් අනෙකුත් සතුන්ගෙන් කෘෂිකාර්මික භෝගවලට සිදුවන හානි වැළැක්වීම සඳහා තාක්ෂණ අමාත්‍යාංශයේ  මැදිහත්වීම  අපේක්ෂා කරන බව පැවසූහ.

    මෙම රැස්වීමට සභික මන්ත්‍රීවරයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නියෝජිතයින් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්  සහභාගී වූහ.