විදුලිබල මණ්ඩලය ලාභ ලැබූ හැටි මෙන්න! බිලියන 50 ක් බැංකු වලට තාම ණයයි

    September, 24, 2015

    ලංකා විදුලි බල මණ්ඩලය විසින් 2015 මුල් මාස හතර තුළදී රුපියල් බිලියන 13.7 ක ලාභයක් වාර්තා කර ඇතැයි අනාවරණය වේ.

    මේ පිළිබඳව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන 2015 මධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවෙන් (Mid-Year Fiscal Position Report 2015) හෙළිවන අතර මෙහි සඳහන් වන්නේ මෙම කාලයේදී ජල විදුලි උත්පාදනය සියයට 37.6 කින් වර්ධනය වී තිබෙන බවයි.

    මේ නිසා, මෙම කාලයේදී කිලෝ වොට් පැයක් (kWh) නිපදවීම සඳහා වැයවී තිබෙන්නේ රුපියල් 12.53 ක් වන අතර මෙය කැපී පෙනෙන ලෙස නිෂ්පාදන වියදම අඩුවීමකි.

    2014 මුල් මාස හතර තුළදී විදුලි බල මණ්ඩලයට කිලෝ වොට් පැයක් (kWh) නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 20.15 වැයවී තිබුණි.

    මේ අතර, 2015 මුල් මාස හතර තුළදී විදුලි බල මණ්ඩලය විසින් බැංකු ණය වලින් රුපියල් බිලියන 04 ක මුදලක් ගෙවා දමා ඇතැයි සඳහන්ය.

    මේ අනුව, මණ්ඩලය විසින් බැංකු වලට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 50.8 කට අඩුවී ඇත.