July, 12, 2016
කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේ දීද අඛණ්ඩව පස්වන දිනයට ත් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,401.31 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 29.07 ක හෙවත් 0.46% ක ඉහළ යාමකි.
අද දින පිරිවැටුම රුපියල් මිලියන 562.57 ක් ලෙසින් වාර්තා වූ අතර මෙහිදී දේශීය ආයෝජකයින්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වශයෙන් නිරීක්ෂණය කළ හැකි විය.
එහිදී දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 449.89 ක් හා දේශීය විකිණුම් රුපියල් මිලියන 502.12 ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 62.67 ක් සහ විදේශීය විකිණුම් රුපියල් මිලියන 60.44 ක් ලෙසින් සාපේක්ෂව අඩු අගයයක් විය.
අද දිනය තුළ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වූයේ හේලීස් ෆයිබර් පීඑල්සී හි කොටස් මිල 25.2% කින් ඉහළ යාමයි. පෙර දින අවසානයේ දී රු. 66.40 ක් ලෙසින් සටහන් වූ හේලීස් ෆයිබර් කොටසක මිල අද දින අවසානයේ දී සටහන් වූයේ රු. 91.60 ක් ලෙසිනි. එසේම අද දින පිරිවැටුමට ඉහළම දායකත්වය ලබා දුන්නේ ද හේලීස් ෆයිබර් කොට්ස ගනුදෙනු තුළිනි. රුපියල් මිලියන 72.84 ක පිරිවැටුමක් මෙම සමාගමේ කොටස් ගනුදෙනු තුළින් අද දිනයේ දී වාර්තා වී තිබිණි.
මේ අතර පසුගිය දින කිහිපය තුළ ඉහළ උච්ඡාවචනයක් වාර්තා කළ ජෝන් කීල්ස් Warrant 23 කොටසක මිල අද දිනයේ දී රු. 7.00 සිට රු. 5.90 දක්වා 15.71% කින් පහළ යන ලදී.
ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාව විසින් සිදුකළ ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවත් සමගම විදෙස් ආයෝජන කළමනාකරුවන්ගේ අවධානය ඒ දෙසට යොමු වී තිබෙන බවත් අද දිනයේ දී විදෙස් ආයෝජකයින්ගේ සහභාගීත්වය කොටස් වෙළෙඳපොළ තුළින් දුරස්වීමට එය ප්‍රධාන වශයේන හේතු වන්නට ඇති බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කොටස් තැරැව්කරුවෙකු අද දෙරණ වෙත පැවසීය.