විදෙස් සමාගම්වල මැණික් කැණීමේ බලපත්‍ර තවමත් ක්‍රියාත්මකද ? මෙන්න! Gemfields කියන කතාව

    April, 17, 2015

    නව රජය විදේශීය සමාගම් විසින් ලංකාවේ සිදුකරන මැණික් කැණීමේ කටයුතු (gemming) පාලනය කිරීමට අදහස් කර තිබුණත් ලංකාව තුළ නිල් මැණික් (sapphires) ගවේෂණය කිරීමේ කටයුතු ඉදිරියටත් සිදුකරන බව ජාත්‍යන්තර මැණික් කැණීමේ සහ ස්වර්ණාභරණ සමාගමක් වන Gemfields Plc සමාගම සඳහන් කර තිබේ.

    ලන්ඩන් කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන මෙම සමාගම මේ බව ලන්ඩන් කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත.

    සමාගම සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මැණික් තිබෙන ස්ථාන සොයාගැනීම සඳහා මූලික භූ විද්‍යාත්මක සමීක්ෂණයක් සමාගම විසින් ආරම්භ කර තිබෙන බවයි.

    මෙම සමාගම සතු මැණික් පතල් සැම්බියාව සහ මොසැම්බික් යන රටවල තිබෙන අතර ශ්‍රී ලංකාව විසින් ලබාදී තිබෙන මැණික් කැණීමේ බලපත්‍ර 16 ක සියයට 75 ක මෙහෙයුම් අයිතිය මෙම සමාගම විසින් 2014 වසරේ අවසාන කාලයේදී ලබාගෙන තිබුණි.

    කෙසේවෙතත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය මාසයේදී නිවේදනය කළේ විදේශීය සමාගම් සඳහා ලබාදී තිබෙන මැණික් කැණීමේ බලපත්‍ර 16 ක් අවලංගු කරන බවත් යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් මැණික් කැණීම සඳහා විදේශීය සමාගම් සඳහා අවස්ථාව ලබා නොදෙන බවයි.