විදේශීය අංශය ශක්තිමත්: අඛණ්ඩව පස්වන මාසයටත් ජංගම ගිණුමේ අතිරික්තයක්

    July, 1, 2025

    ජංගම ගිණුම් අතිරික්තයක් අඛණ්ඩව මාසිකව වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2025 වසරේ මැයි මාසයේ දී තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    2025 මැයි මාසය වෙනුවෙන් විදේශීය අංශ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව නිකුත් කරමින් මේ බව සඳහන් කරන මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ,  විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වැඩිදියුණු වූ අතර එමගින් පුළුල් වූ වෙළඳ ගිණුමේ හිඟය පියවන ලැබ ඇති බවයි.

    විදේශීය අංශ ක්‍රියාකාරීත්වයට අදාළව මෙම වාර්තාවේ සඳහන් ප්‍රධාන කරුණු 11ක් පහතින් දැක්වේ.

    1. විදේශීය අංශයේ ශක්තිමත් ක්‍රියාකාරිත්වය පිළිබිඹු කරමින් 2025 වසරේ මැයි මස දක්වා වූ සියලුම මාසවල මාසික ජංගම ගිණුම අතිරික්තයන් වාර්තා කළේය.
    2. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ භාණ්ඩ අපනයනවලට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ ආනයන වර්ධනය වීම පිළිබිඹු කරමින් 2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව 2025 වසරේ මැයි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් විය. කෙසේ වෙතත්, 2025 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු විය.
    3. පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම 2025 වසරේ මැයි මාසයේ දී එ. ජ. ඩොලර් මිලියන 118ක් වූ අතර, 2025 වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය සඳහා මුළු වියදම එ. ජ. ඩොලර් මිලියන 312ක් විය.
    4. අපනයන මිල ගණන් ඉහළ යාම ඉක්මවා ආනයන මිල ඉහළ ගිය බැවින් මාසය තුළ දී වෙළඳ මිල අනුපාතය පහළ ගියේය.
    5. වෙළඳ දිශාව අනුව, 2025 වසරේ මැයි මාසයේ දී මෙන්ම 2025 වසරේ ජනවාරි-මැයි කාලපරිච්ඡේදය තුළ ද එක්සත් ජනපදය, ඉන්දියාව සහ එක්සත් රාජධානිය ප්‍රමුඛ අපනයන ගමනාන්ත ලෙස පැවතුණ අතර, චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රමුඛ ආනයන මූලයන් ලෙස පැවතුණි.
    6. 2025 වසරේ මැයි මාසයේ දී සේවා අංශය වෙත වූ ශුද්ධ ලැබීම්, 2024 වසරේ මැයි මාසයේ ක්‍රියාකාරිත්වයට සාපේක්ෂව සුළු අඩුවීමක් වාර්තා කළේය. කෙසේ වෙතත්, 2025 වසරේ මුල් මාස පහ තුළ සේවා අංශයේ ශුද්ධ ලැබීම් සියයට 8ක වර්ධනයක් වාර්තා කරමින් එ.ජ. ඩොලර් බිලියන 1.8ක් විය.
    7. 2025 වසරේ මැයි මාසයේ දී සංචාරක ඉපැයීම්, එ.ජ. ඩොලර් මිලියන 164ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, 2025 වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා කාලය තුළ දී වූ මුළු ඉපැයීම් එ.ජ. ඩොලර් බිලියන 5ක් විය.
    8. 2025 වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයක් වාර්තා කළ අතර, 2025 වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා කාලය තුළ දී වූ මුළු ප්‍රේෂණ එ.ජ. ඩොලර් බිලියන 3.1ක් ලෙස වාර්තා විය.
    9. රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන, පෙර මාසයේ දී වූ ශුද්ධ ගෙවීමක සිට මැයි මාසයේ දී සූළු ශුද්ධ ලැබීමක් දක්වා වෙනස් වූ අතර, කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ද (ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ ඇතුළුව) සූළු ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.

    10. 2025 වසරේ මැයි මාසයේ දී දළ නිල සංචිත 2025 වසරේ අප්‍රේල් මාසයේ පැවති මට්ටමට බොහෝ දුරට සමාන මට්ටමක පැවති අතර එය එ.ජ. ඩොලර් බිලියන 6.3කි. දළ නිල සංචිත තුළ චීන මහජන බැංකුව සමඟ වූ විදේශ විනිමය හුවමාරු පහසුකම ඇතුළත් වේ.
    11. 2024 වසර අවසානයේ සිට 2025 වසරේ ජූනි මස අවසානය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීම සියයට 2.5කි.