විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය (Economic Diplomacy) වෙනුවෙන් වොෂින්ටනයට

    November, 3, 2015

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන වෙළඳ පොළක් වන අමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන ද්විපාර්ශවීය ආර්ථික සහ ව්‍යාපාරික සම්බන්ධතාවයන් තව තවත් තර කරගැනීමට ඉවහල් වන වැදගත් සාකච්ඡා වට කිහිපයක් එරට රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමග විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා (ඔක්තෝම්බර් 30 වනදා) වොෂින්ටනයේදී පැවැත්වීය.

    පසුගියදා මෙක්සිකෝ සිටි හිදී, පැවති 2015 විවෘත රාජ්‍ය සහයෝගීතා ගෝලීය සමුළුව සඳහා සහභාගී වීමෙන් අනතුරුව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වොෂින්ටනයට පැමිණියේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය (Economic Diplomacy ) වෙනුවෙනි.

    ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඇමරිකානු සංචාරයේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ, භාණ්ඩාර දෙපාර්තමේන්තුවේ, වාණිජ දෙපාර්තමේන්තුවේ, මිලේනියම් චැලේන්ජ් කොපරේෂන්හි (MCC) මෙන්ම ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මුණ ගැසී සාකච්ඡා සිදුකළේය.

    මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමග සිදුකළ සාකච්ඡා වලදී නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් තිබෙන දේශපාලන ප්‍රතිසංස්කරණ හමුවේ ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන ආර්ථික සහ ව්‍යාපාරික සම්බන්ධතාවය තවදුරටත් තරකර ගත හැකි බවයි. මෙම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් ඉදිරියේදී දෙරට විසින් කටයුතු කළ යුත්තේ කෙසේදැයි මෙහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ගැඹුරින් සාකච්ඡා කළේය.

    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සිය වොෂින්ටන් සංචාරයේදී ඇමරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අළුතින් විවෘත කළ ගොඩනැගිල්ලටද ගිය අතර මෙම ගොඩනැගිල්ල වෙත පළමු වරට ශ්‍රී ලංකාවෙන් ගිය නිළ අමුත්තා වූයේද ඔහුයි. මෙම අවස්ථාවට සහභාගී වූ එහි කාර්ය මණ්ඩලය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දෙරටේම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අයුරින් ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දේශපාලන සහ ආර්ථික සම්බන්ධතාවයන් තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු බවයි.

    ඡායාරූප
    1. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේදී එහි ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමග


    2. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එරට වාණිජ දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයා සමග සාකච්ඡාවක් සිදුකරමින්


    3. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී එහි ජ්‍යෙඡ්ඨ නිළධාරීන් සමග