May, 24, 2018
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සහ විදේශීය ණය සේවාකරණය සම්බන්ධයෙන් ජනතාව නොමග යවන ආකාරයේ පුවත්පත් වාර්තාවක් පළ වී ඇත.
එම පුවත්පත් වාර්තාවේ අන්තර්ගතය තුළින් රටෙහි විදේශීය අංශයේ තත්ත්වය පිළිබඳ වැරදි අර්ථ කථනයක් ලබා දී ඇත. 2015-2018 කාලපරිච්ඡේදය තුළ එ.ජ. ඩොලර් බිලියන 8.9 ක් වූ රජයේ ණය ගැනීම් මහ බැංකු සංචිත තුළට අවශෝෂණය කරගත් බව එම පුවත්පත් වාර්තාවේ සඳහන් කර ඇති නමුත්, රජයේ නිල ණය කළමනාකරු ලෙස වගකීම දරන මහ බැංකුව විසින් මෙම කාලපරිච්ඡේදය තුළ සංචිත ප්‍රයෝජනයට ගනිමින් සිදු කළ සැලකිය යුතු ප්‍රමාණයක විදේශ ණය ආපසු ගෙවීම් සම්බන්ධයෙන් අවධානයක් යොමු කර නැත.
2015 සිට රජය විදේශ සංචිත ප්‍රයෝජනයට ගනිමින් ප්‍රාග්ධන සහ පොලී ගෙවීම් ලෙස එ.ජ. ඩොලර් බිලියන 7.5 ක පමණ විදේශීය ණය ආපසු ගෙවීමක් සිදු කර ඇත. සරල ආකාරයකින් දැක්වුවහොත්, 2014 අවසානයේදී පැවති දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 8.2 ක් විය. 2015 සිට මේ දක්වා වන කාලය තුළ අමතර ණය ගැනීම් හෝ ණය නොවන මාර්ගවලින් සංචිත ඉහළ යෑමක් සිදු නොවූයේ නම්, එ.ජ. ඩොලර් බිලියන 7.5 ක පමණ වූ විදේශීය ණය සේවාකරණ ගෙවීම් හේතුවෙන් එවකට පැවති දළ නිල සංචිත මට්ටම මේ වන විට එ.ජ. ඩොලර් බිලියන 0.7 ක් පමණ තෙක් පහළ යා හැකිව තිබුණි.
ශ්‍රී ලංකාව වැනි ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟයක් පවතින රටකට දශක කිහිපයක් පුරා සිය සංචිත ගොඩනංවා ගැනීම සඳහා විදේශීය ණය මත යැපීමට සිදු වී ඇත.
රටෙහි වර්තමාන දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 9.1 ක් වේ. 2018 ජුනි මැද වන විට එම දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 11 ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ (කරුණාකර මීට පෙර නිකුත් කළ ශ්‍රී ලංකා මහ බැංකු පුවත්පත් නිවේදනය බලන්න).
තවද, රටෙහි නොපියවා ඉතිරිව ඇති ණය ප්‍රමාණය ආපසු ගෙවීම එකවර වසරක් තුළදී සිදු නොකරන අතර, එය වසර ගණනාවක් පුරා සිදු කෙරෙන්නක් බව සඳහන් කළ යුතුව ඇත. පුවත්පත් වාර්තාවේ සඳහන් වූ එ.ජ. ඩොලර් බිලියන 8.9 ක ණය ප්‍රමාණය කල්පිරීම සඳහා ගතවන කාලයෙහි බරතැබූ සාමාන්‍යය වසර 5.1 කි. 2018 අප්‍රේල් මස අවසන් වන විට 2018-2022 කාලපරිච්ඡේදය තුළදී විදේශීය ණය සේවාකරණ අවශ්‍යතාව සාමාන්‍යයෙන් වසරකට එ.ජ. ඩොලර් බිලියන 3.9 ක් පමණ වේ. එමනිසා, සිය විදේශීය ණය සේවාකරණ අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත රට සතුව පවතී.
විදේශීය ණය ලබාගැනීම්වල පිරිවැය සහ ප්‍රතිලාභ තක්සේරු කිරීමේදී, එම ණය, යටිතල පහසුකම් සහ මූලික සේවාවන්හි ආයෝජනය කිරීම තුළින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ද සැලකිල්ල යොමු කිරීම වැදගත් වේ. රජයේ ණය ගැනීම් මගින් ආර්ථික වර්ධනය සඳහා වන ආයෝජන අවශ්‍යතාවන් සපුරා ගත හැකි වුවද, එවන් ආයෝජන ඵලදායී සහ සැලකිය යුතු ප්‍රතිලාභ සපයන බව තහවුරු කර ගැනීම වැදගත් වේ. එවන් ප්‍රතිලාභ වඩාත් පුළුල් පරාසයක් තුළ පැතිරුණු සමාජ ආර්ථික ප්‍රතිලාභ විය හැකිය. කෙසේ වුවත්, රජයේ ණය ගැනීම්, එම ණය සහ පොලිය නැවත ගෙවීමට ප්‍රමාණවත් තරම් ප්‍රතිලාභ නොලැබෙන, ඵලදායී නොවන යටිතල පහසුකම්වල ආයෝජනය කළහොත් ණය ආපසු ගෙවීමේ අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා රජයට අඛණ්ඩව ණය ලබා ගැනීමට සිදු වනු ඇත. එමනිසා, ලබාගන්නා විදේශීය ණය ශක්‍යතාවක් නොමැති ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම තුළින් තිරසාර නොවන මට්ටමකට රාජ්‍ය ණය එක්රැස් වීමක් සිදු වේ. රජය විසින් ණය ලෙස ලබාගන්නා විදේශ විනිමය, රජයට තම දේශීය වියදම් සපුරා ගැනීම සඳහා අවශ්‍ය කරන රුපියල් ලබා දෙමින් මහ බැංකුව විසින් මිලට ගනු ලබයි. රජයේ ණය ගැනීම් පිරිවැයට සමාන ප්‍රතිලාභයක් විදේශ සංචිත කළමනාකරණය කිරීම තුළින් ලබාගත හැකි වේ යැයි මහ බැංකුව අපේක්ෂා නොකරයි.
විදේශ සංචිත කළමනාකරණයෙහි මූලික අරමුණ වන්නේ සංචිත සැලකිය යුතු ලෙස අඩු වීමට හේතු වන අන්දමේ ඉහළ අවදානමක් සහිත ආයෝජන මගින් විය හැකි අනිසි පාඩුවලින් තොරව සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමයි. එමනිසා, විදේශ සංචිත කළමනාකරණය කිරීමේදී මහ බැංකුව සම්ප්‍රදායානුකූල ප්‍රවේශයක් අනුගමනය කරයි. මහ බැංකුවේ විදේශ සංචිත කළමනාකරණයෙහි ප්‍රධාන අරමුණ එම සංචිත ආයෝජනය කිරීම මගින් ලාභ ඉපැයීමට වඩා එහි ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීම බැවින් සංචිත ආයෝජනය කිරීමේදී ලැබෙන ඵලදා අනුපාතිකය, ණය ගැනීමේ පිරිවැය සමඟ සැසඳීම සම්පූර්ණයෙන්ම නොමඟ යවන සුළු වේ.
එම පුවත්පත් වාර්තාව මගින් තවදුරටත් සඳහන් කරන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 වසරේ සිට 2017 දක්වා කාලය තුළදී ලබාගත් විදේශ සංචිතවල ආයෝජනයට වඩා ඉහළ ප්‍රතිලාභයක් 2010 වසරේ සිට 2014 දක්වා කාලය තුළදී ලබා ගෙන ඇත. පළමු කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඉහළ ප්‍රතිලාභ සඳහා රත්‍රන් මිල ඉහළ යෑම සහ ගෝලීය මූල්‍ය අර්බුදය හමුවේ ලෝකයේ බොහෝ මහ බැංකු පොලී අනුපාත පහත දැමීම සමඟ බැඳුම්කර මත වූ ප්‍රාග්ධන ලැබීම් ඉහළ යෑම හේතු විය. දෙවන කාලපරිච්ඡේදයේදී රත්‍රන් මිල පහළ යෑමක් දක්නට ලැබුණු අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත බැංකුව මගින් පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් ගෝලීය පොලී අනුපාත තත්ත්වය ද වෙනස් වී ඇත.
ලෝක බැංකුවේ සංචිත උපදේශන සහ කළමනාකරණ වැඩසටහනෙහි ද සහයෝගය ලබාගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව දැනට විචක්ෂණශීලී සංචිත කළමනාකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. රටෙහි සංචිත අනිසි අවදානමකට ලක්කරන සමපේක්ෂණ ආයෝජන (speculative investment) වැළැක්වීම සඳහා ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී ඇත. මහ බැංකුවක් විසින් විදේශ සංචිත කළමනාකරණය කිරීමේ දී සලකා බලන කරුණක් වනුයේ ඒ සම්බන්ධව කොතරම් දුරකට අවදානම් දැරීමට සූදානම් ද යන්නයි. වාණිජ අරමුදල් කළමනාකරුවකු විසින් දරනු ලබන අවදානමට සමාන අවදානමක් ගැනීම මහ බැංකුවකට නුසුදුසු වනු ඇත. ඒ අනුව, විදේශ සංචිත ආයෝජනයේදී මහ බැංකුව ආරක්ෂණ, ද්‍රවශීලතා සහ ප්‍රතිලාභ යන අරමුණු අතර මනා සමබරතාවක් පවත්වා ගනියි. මහ බැංකුවෙහි සංචිත ප්‍රමාණය ජාත්‍යන්තරව පිළිගත් මිනුම්දඬුවලට අනුකූලව කළමනාකරණය කරනු ලැබේ.
(මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය නිවේදනයකි.)